පැණි බේරෙන උඳු වළලු Ring Murukku Recipe


උඳු වළලු සාදන්නට සූදානම් වන ඔබ මුලින්ම ඒ සඳහා අවශ්‍ය කරන දේවල් මොනවාද කියා දැනගෙන ඉන්නට ඕනේ. ඒ නිසා අවශ්‍ය කරන ද්‍රව්‍ය ගැන වැටහීමක් මුලින්ම ලබා ගනිමු.

“මේ සඳහා උඳු පිටි ග්‍රෑම් 300 ක්, සීනි ග්‍රෑම් 300 ක් හෝ පැණි බෝතල් 1/2 ක්, හාල් පිටි ග්‍රෑම් 100 ක්, ලුණු ස්වල්පයක්, ඇඹුල් කෙසෙල් ගෙඩි 2 ක්, පොල් කිරි අඬු කෝප්ප 1/2 ක්, සහ බැදීමට පොල්තෙල් ඕනෙ කරනවා.”

“අපි උඳු ඇට ගෙදරදීම කොටා ගන්න ඕනෙද?”

“එහෙම පිටි කොටා ගන්නට හැකිනම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් පිටි කොටන මෝලකින් මිලදී ගන්නත් පුළුවනි. ගෙදරදීම උඳු ඇට කොටාගන්න බලාපොරොත්තු වෙනවා නම් උඳු ඇට ගරා සෝදාගෙන පැය 6-10 අතර කාලයක් පෙඟෙන්න තබන්න. ඉන්පසු හොඳින් සෝදා පොතු ඉවත්කර පොල්කිරි එක්කර බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයට හාල් පිටි දමා එයටම ඇඹුල් කෙසෙල් ගෙඩි 2 ක් පොඩිකර එකතු කරන්න. මේ මිශ්‍රණය ඝනකමට අනාගෙන පැය 4 ක් පමණ පිපෙන්නට වසා තබන්න. කඩේ කොටා ගත් උඳු පිටි ගන්නවා නම් ඉහත ක්‍රමයටම හාල් පිටි, ඇඹුල් කෙසෙල් එක්කර පොල් කිරෙන් අනා පැය 4 ක් වසා තබන්න.”

“පිටි පිපුණට පස්සෙ නැවත අනාගන්න ඕනෙද?”

“ඔව්, හොඳින් පිපුණු පිටිවලට ලුණු සහ පොල්කිරි ටිකක් දමා තරමක් දියාරුවට අනාගන්න ඕනේ.”

උඳු වළලු බැදිම සඳහා තෙල් තාච්චියට දැමීමේදී අනුගමනය කරන්න ඕනෙ ක්‍රියාමාර්ගයක් තියෙනවද?”

“ඔව්, පිටි ටික එකම ප්‍රමාණයට වැටෙන්න අවශ්‍ය නිසා තරමක් ඝනකම රෙදි කෑල්ලක් අරගෙන එහි පැන්සලක් තරමේ ප්‍රමාණයට සිදුරක් කපා ඒ වටේට බොත්තම් කාසයක් මසන ආකාරයට මසා ගන්න ඕනේ. අනාගත් පිටි මිශ්‍රණයෙන් ටිකක් මේ රෙදි කැබැල්ලට දමා පොට්ටනියක් ලෙස සකසා ගෙන අපි මසාගත් සිදුරෙන් රත්වු තෙලට රවුම් වළල්ලක් ලෙස රවුම් කිහිපයක් මිරිකන්න ඕනේ. මේ උඳු වළලු දෙපැත්ත හරවා රන්වන් පාටට බැදගන්න ඕනේ.

“ආ... ඊට පෙර අපි පැණි මිශ්‍රණයක් හදා ගන්නත් ඕනෑ.”

“කොහොමද පැණි මිශ්‍රණය හදන්නේ.”

කිතුල් පැණි හෝ පොල් පැණි ගන්නවා නම් උණු කරගෙන උණුසුම තිබියදීම බදින පැණි වළලු දමන්න ළඟින් තියාගන්න. සීනි ගන්නවා නම් සීනි ස්වල්පයක් බඳුනකට දමා ළිප තබා කරවුණාම උණු වතුර සහ ඉතිරි සීනි එක්කර පැණි උණුකර ගන්න. හැබැයි මෙහිදී මතක තබාගත යුතු දෙයක් තමයි මේ පැණි පත් පැණි තරමට උණුකර ගැනීම අවශ්‍ය නැහැ කියලා. උකුවට පැණි උණු වුණොත් උඳු වළලුවලට පැණි උරා ගැනීම සිදු වෙන්නේ නහැ.”

“දැන් අපි රන්වන් පාටට බැදගත් පැණි වළලු සකසා ගත් උල් කූරක් ආධාරයෙන් උණු උණුවේම පැණි බඳුනට දමා විනාඩි 15 ක් පමණ තබා පැණි බේරෙන්නට තබා වෙනත් බඳුනක තැන්පත් කරන්න.”

“සමහර වෙලාවට උඳු වළලු තද ගතියට පත් වෙන්නත් ඇතුළට පැණි පිරෙන්නේ නැති වෙන්නත් හේතුව මොකක්ද?”

“උඳු වළලු අපිට හදිසියේ හදන්න බැහැ. උඳු පිටි අනල නියමිත කාලය පිපෙන්න තැබුවම තමයි මෘදු ගතියට උඳු වළලු හදාගන්න පුළුවන්. පිපුනෙ නැත්නම් හයිවෙනවා. ඒ වගේම පැණි උකු ගතිය වැඩි වුණාම උඳු වළලු ඇතුළට උරා ගන්න අපහසු වෙනවා.”

ඔන්න දැන් ඔයාලටත් බොහොම රසවත් පැණි පිරුණු උඳු වළලු ගෙදරදී පහසුවෙන්ම සාදා ගන්න පුළුවන් වේවි. ගෙදරදී හදල බලන්නකෝ කොහොමද රස කියලා.

No comments:

Post a Comment