'කජු' ගුණ අගුණ ද?




කජු ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප්‍රියතාවයක් දක්වනවා. ඒ එයටම ආවේණික වූ විශේෂ රසය නිසයි.

එහෙත් කජු ආහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකර බව පිරිසක් පවසන අතර තවත් පිරිසක් කියන්නේ අහිතකර බවයි. ඇත්තටම කජු ආහාරයට ගැනීම සෞඛ්‍යයට හිතකරද? අහිතකරද?

ක්ෂණික ශක්තිජනකයක් ලෙස ක්‍රියා කිරීම

ප්‍රමාණයෙන් කුඩා වූවාට කජු තුළ විශාල වශයෙන් ශක්තිය ගබඩා වී තිබෙනවා. ඒ නිසා රෝගී වූ විට වගේම ගැබිනි කාලයේදී කජු ආහාරයට ගැනීම වඩා සුදුසු යැයි පිළිගැනෙනවා. ඒ එහි තුළ ගබඩා වී ඇති ශක්තිය ක්ෂණිකව ශරීරයට අවශෝෂණය වන නිසයි.

ඇන්ටිඔක්සයිඩ ලබාදීම

ශරීර අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට වැදගත් වන ඇන්ටිඔක්සයිඩ කජුවල අන්තර්ගතයි. සෛල සහ ඩී. එන්. ඒ. කජු තුළ අන්තර්ගත නිසා සෛල සහ ඩී. එන්. ඒ. වලට හානි පැමිණවීම අවම කර ඇන්ටිඔක්සයිඩ හරහා ශරීර අභ්‍යන්තරය ආරක්ෂා කිරීම සිදුවනවා. ඒ නිසාම ලෙඩ රෝගවලින් ඔබව ආරක්ෂා වනවා.

අස්ථිවල ආරක්ෂාවට

අස්ථි පෝෂණයට වැදගත් වන මැග්නිසියම් හා පොස්පරස් කජු තුළ යහමින් අන්තර්ගත වන නිසා කජු ආහාරයට ගැනීම අසථිවලටත් දත්වලටත් ගුණයි. ඒ අතරම කජුවල විටමින් කේ අඩංගු වනවා. විටමින් කේ මඟින් අස්ති වර්ධනයට බලපාන කැල්සියම් අවශෝෂණය වේගවත් කරනවා. මේ හේතුව නිසා කාන්තාවන්ට කජු ආහාරයට ගැනීම වඩා යහපත් බවයි කියැවෙන්නේ.

හදවත ආරක්ෂා කිරීම

කජු ආහාරයට ගැනීමෙන් ශරීරයට හිතකර මේදය ලැබෙනවා. ශරීරය තුළ අහිතකර මේදය තැන්පත්වීම වැළකී හදවතේ ක්‍රියාකාරිත්වය යහපත්ව සිදුකිරීමට මෙමඟින් හැකියාව ලැබෙනවා.

රුධිර පීඩනය අඩුවීම

හදවත් රෝග වගේම අධික රුධිර පීඩනයත් වර්තමානයේ සුලබව දක්නට ලැබෙන රෝගයක්. හදවත් රෝගවලට අමතරව අධික රුධිර පීඩනය මඟින් වකුගඩු ආබාධ, අංශභාගය වැනි භයානක රෝගී තත්ත්වයන් ද ඇති කළ හැකියි. නමුත් දිනකට කජු ස්වල්පයක් ආහාරයට ගැනීමෙන් මෙතරම් අහිතකර බලපෑමක් ඇති අධික රුධිර පීඩනය පාලනය කිරීමට හැකියාවක් ලැබෙනවා. දිනකට කජු ග්‍රෑම් 30 ක් පමණ ආහාරයට ගැනීමෙන් ඔබට ලෙහෙසියෙන්ම ශරීරයේ රුධිර පීඩනය සමනය කිරීමට හැකියාව ලැබෙනවා. මෙයට ප්‍රධාන වශයෙන්ම හේතු වන්නේ කජු තුළ අන්තර්ගත ඇමයිනෝ අම්ලයි.

සාංකාව දුරු කිරීමට

මෙය ඇසූ විට ඔබට පුදුම හිතෙනවා ඇති. එහෙත් සාංකාව ඇති වීමේදී ශරීරයේ ඇතිවන හෝර්මෝන වෙනස තුලනය කිරීමට කජු තුළ අන්තර්ගත මැග්නිසියම් සහ සින්ක් සංඝටකයන්ට හැකියාව පවතින බව නවතම පරික්ෂණවලින් සොයාගෙන තිබෙනවා. විශේෂයෙන් බටහිර රටවල සාංකාවට ප්‍රතිකාර කිරීමේදී කජු ආහාරයට ලබාදෙන බව සඳහන් වෙනවා. ශරීර සෞඛ්‍යයට වගේම මානසික සෞඛ්‍යයේ යහපැවැත්මටත් කජු ආහාරයට ගැනීම හේතු වන බව මෙයින් පැහැදිලි වනවා.

කජු මෙතරම් ගුණ දෙන ආහාරයක් වුවත් අගුණ වන අවස්ථා ද ඇත. ඉරුවාරදය රෝගයෙන් පෙළෙන අයට කජු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ. එමෙන්ම කජුවල යම් ප්‍රමාණයක් පොටෑසියම් අඩංගු නිසා වකුගඩු රෝගීන්ටත් කජු ආහාරයට ගැනීම එතරම් හිතරක නොවේ.

ඕනෑම ආහාරයක් වැඩි වශයෙන් ආහාරයට ගැනීමද සුදුසු නැත. එයින් අසාත්මිකතා ඇතිවිය හැකියි. ඒ නිසා කජුවල ගුණ අගුණ දැනගෙන ආහාරයට ගැනීමයි වඩාත් සුදුසු.



උපදෙස් - පෝෂණවේදී රේණුකා ජයතිස්ස

වෛද්‍ය පර්යේෂණායතනය- බොරැල්ල

No comments:

Post a Comment