අග්ගලා - Aggala.(Sweet and spicy rice balls)

කටට රසට තදට හැපෙන අග්ගලා විවිධ ක්‍රමයන්ට හදාගන්න පුළුවනි. හාල් පිටිවලින්, තම්බපු හාල් කබලේ බැද කොටාගත් පිටිවලින් වගේම ඉතිරි වෙන බත් වියළා බැද කොටා ගත් පිටිවලිනුත් අග්ගලා හදනවා. ඉතින් අරපිරිමැස්මෙන් කටයුතු කරන ගෘහණියන්ට හොඳ ආරංචියකුත් අරගෙන රසම රස අග්ගලාතේ මේසයට කැඳවා ගන්නට මින් පසු හැකියාව ලැබේවි.

 මුලින්ම අපි හාල් පිටි අග්ගලා හදන්නේ කොහොමද කියලා දැනගනිමු. අපිට අග්ගලා හදන්න අවශ්‍ය පිටි හාල් දියේ දා පොඟවා ගෙන ගෙදරදීම කොටා ගන්නට පුළුවනි. එහෙම නැත්නම් මෝලකින් කොටවා ගන්නත් පුළුවනි. මොන ක්‍රමයට පිටි සකසා ගත්තත් මේ පිටි කබලේ හොඳින් බැද ගන්නට ඕනෑ. හොඳින් බැදගත් තරමට අග්ගලාවල රසවත් බව වැඩිවෙනවා.

"මොනවද අවශ්‍ය කරන දේවල්."

බැදගත් හාල්පිටි ග්‍රෑම් 500 ක්, සීනි ග්‍රෑම් 250 ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්, ලුණු ස්වල්පයක් සහ කරදමුංගු කුඩු ස්වල්පයක් සූදානම් කරගන්න. හාල් පිටි කබලේ බැද හලාගෙන පසෙකින් තියන්න. සීනි වලට වතුර දමා ළිප තබා හොඳින් උණුකර ගන්න. පත් පැණි තරමට උණුකර ගන්න අවශ්‍ය නැහැ. උකු ගතියට උණු කරගෙන එයට ලුණු, ගම්මිරිස් කුඩු හා කරදමුංගු කුඩු එක්කර ළිපෙන් බාන්න. පැණි ටික කොටස් 2 කට බෙදා ගෙන එක කොටසකට බැදගත් පිටි කොටසක් එක්කර ඉක්මනින් ගුලිකර ගන්න. ඔක්කොම ටික එකවර මිශ්‍ර කරගත්තොත් ගුලිකර ගන්න ඉස්සර වෙලා හයිවෙන්න පුළුවන්.

මෙයට අමතරව තම්බාගත් හාල් බැදගෙන කොටා හලාගත්තම ඒ පිටිවලිනුත් අග්ගලා හදන්න පුළුවන්. ඒ ක්‍රමයට අග්ගලා හදනවා නම් හාල් ග්‍රෑම් 500 කට පොල් බෑයක පොල්, සීනි ග්‍රෑම් 250 ක් ලුණු රස අනුව අවශ්‍ය කරනවා.

කොහොමද හාල් අග්ගලා හදන්නේ.

මේ සඳහා තම්බපු හාල් අරගෙන ගරා සෝදා හොඳින් වේළා ගන්න ඕනෑ. ඊට පස්සේ කබලේ රන්වන් පාටට හාල් පුපුරන ප්‍රමාණයට බැදගෙන ග්‍රයින්ඩරය හෝ වංගෙඩිය භාවිතයෙන් කොටා හළාගන්න. දැන් මේ හළාගත් පිටිවලට පොල්, ලුණු සහ සීනි එක්කර හොඳින් මිශ්‍රකර තමන්ට කැමැති

ප්‍රමාණකට ගුලි හදාගන්න පුළුවනි.

"එතකොට වියළා ගත් බත්වලිනුත් අග්ගලා හදන්න පුළුවන් නේද?"

ඔව්. අපි ගෙවල්වල ඉතිරිවෙන බත් මොන තරම් විසි කරනවාද? මේ බත් පිරිසුදුවට වේළා ගත්තාම අග්ගලා හදන්න ප්‍රයෝජනයට ගන්න බඳුනක දමා වසා තබන්න. අවශ්‍ය අවස්ථාවේ කබලේ බැද ග්‍රයින්ඩරයක් හෝ වංගෙඩියේ කොටා හළාගෙන පොල්, ලුණු, සීනි එක්කර ගුලි හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කොටාගත් පිටි බඳුනක දමා වසා තබා අවශ්‍ය අවස්ථාවක ටිකක් අරගෙන පොල්, සීනි, ලුණු එක්කර අග්ගලා හදන්න. මේ වගේ දෙයක් අරපිරිමැස්ම අගයන ගෘහණියකට බොහොම වටිනා අත්දැකීම්. පවුලේ කවුරුත් මේ වගේ රසවත් අග්ගලා කන්නට බොහොම ආසා වේවි.


No comments:

Post a Comment