මාළු උයන පිහන ක්‍රම වගේම කපන, ශුද්ධ කරන විදිහත් වෙනස්

Image result for cooking and wash fish
ඉවුම් පිහුම් කියන්නෙ කලාවක්. ඉතින් මේ කලාව පිළිබඳ වැඩි අවබෝධයක් නැති සෙව්වන්දිගේ ලොකුම ආශාව වුණේ හොඳ රසට උයන්න පිහන්න හැකියාව ඇති ගෘහණියක් වෙන එකයි. ඉතින් ඒ වෙනුවෙන් ඕනෑම කැපවීමක් කරන්නත් ඇය සූදානම්.
එහි ආරම්භයක් විදිහට තමයි සෙව්වන්දි නුවර ඉන්න ලොකු නෑනාගෙන් උපදෙසක් පැතුවේ. ඇයට හරිම වටිනා උපදෙස් ටිකක් එක්ක මැටි වළං සහ නිවෙසේදීම තුනපහත් හදලා දුන්න හැටි ඔයාලාට මතකයිනේ.
ඔන්න සති තුනකට විතර පස්සෙ නුවර නෑනයි, අයියයි, දරුවෝ ටිකයි සෙව්වන්දිලාව බලන්න කොළඹ ආවා. තේ ටිකක් හෙම බීලා ආගිය තොරතුරු කතාබහෙන් පස්සෙ නෑනයි, සෙව්වන්දියි මුළුතැන්ගෙට ගියේ කටට, රසට හොඳ කෑම වේලක් සුදානම් කරන්නයි.
"ඉතින් නංගි... දැන් ඔයා මැටි වළංවල, ගෙදර හදපු තුනපහ දමලා උයනවා නේද?"
"අනේ ඔව් අක්කේ. අක්කාට පින් දිදී තමයි මම දැන් ලැජ්ජාවක් නැතිව මහේෂ්ට කෑම ටික හදලා දෙන්නේ. අපේ ඔෆිස් එකේ යාළුවොත් කිව්වා කෑම හරිම රසයි කියලා. හැබැයි අක්කේ අර එදා ඔයා හදපු මාළු ඇඹුල්තියල නම් හරියට හදාගන්න බැරි වුණා. කොහොමටත් මට තවම මස්, මාළු රසට හදාගන්න බෑ."
"මෙහෙමයි නංගි... මස්, මාළු වාගේ දේවල් උයන, පිහින ක්‍රම
ටිකක් වෙනස්. ඒවාගේම තමයි ඒවාට එකතු කරන කළමනාත් වෙනස්. ඉතින් දවසක් දෙකක් ඉගෙන ගත්තොත් ඔයාට අපූරුවට උයන්න පුළුවන් වෙයි."
"අක්කේ.... මට යාළුවෙක් කිව්වා මාළු කපන විදිහ, ශුද්ධ කරන විදිහ විතරක් නෙමෙයි එක එක මාළු උයන විදිහත් වෙනස් කියලා. නියම විදිහට කපලා, පිරිසුදු කරලා උයපුවාම තමයිලු ඒවායේ නියම රසය මතු වෙන්නේ."
"ඒ කතාව හරි නංගි. අද මම මාළු ටික උයන ගමන්ම ඔයාට ඒ ගැන කියලා දෙන්නම්. කෝ බලන්න මොනවද තියෙන මාළු වර්ග."
"අනේ අක්කේ මම නම් මාළු ගැන දන්නෙම නැති තරම්. එකම විදිහට තමයි ඉතින් උයන්නෙත්."
"ආ... මේ තියෙන්නෙ කෙලවල්ලෝ, ගල්මාළු, තලපත්, හුරුල්ලෝ වාගේ මාළු වර්ග කීපයක්ම. අද අපි මොනවද උයන්නෙ."
"අක්කට කැමැති දෙයක් ගනිමු."
"අපි ගල්මාළු ටික ගම්මු. මේ කෙලවල්ලෝ ටිකෙන් හෙට හොඳ මාළු ඇඹුල් තියලක් හදමු. නංගිට තියාගෙන කන්න පුළුවනිනේ."
"ගල් මාළු කියන්නෙ කොරපොතු තරමක් වැඩි මාළු වර්ගයක්නේ. ඉතින් අපි මුලින්ම කරන්නෙ මේ කොරපොතු ටික හොඳට අයින් කරගන්න එකයි.
මාළු කඩේ නම් මේ කොරපොතු ශුද්ධ කරන්න වෙනම හදපු උපකරණයක් තියෙනවා. මම නම් ඒකෙන් ශුද්ධ කරවාගෙන මාළුවා කපලා තමයි ගේන්නේ.
දැන් ඉතින් අපි පිහියෙන් මේ විදිහට අනිත් පැත්තට ඇදලා මේ කොරපොතු ටික අයින් කරමු. ඊට පස්සෙ මේ මාළුවාගේ ඔළුව ළග තියෙන පුංචි වරල් දෙක ගාවින් වී හැඩයට(V) කැපුමක් දාගත්තම මේ විදිහට මාළු ඔළුව අයින් කරන්න පුළුවනි. ඒත් එක්කම බඩේ තියෙන අපද්‍රව්‍යත් එළියට අරගෙන අයින් කරන්න. දැන් මේ ශුද්ධ කරපු මාළුවා පෙති පෙති හිටින විදිහට කපාගන්න. මාළු සෝදනවිට දෙහි ඇඹුල් ටිකක් දාලා හෝදලා ගත්තාම මේ පිළීගඳ යනවා.
හැබැයි නංගි ලොකු ගල් මාළුවෙක් නම් මේ වාගේ පොඩි පෙති කපන්න බෑ. ඒ වාගේ වෙලාවට මාළුවා ශුද්ධ කරලා මැද්දෙන් දෙකට පළාගන්න ඕනේ. ඊට පස්සෙ සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි කපාගන්න."
"එතකොට අක්කේ ඕනෑම මාළු වර්ගයක් මේ විදිහට ද කපන්නේ?"
"මෙහෙමයි නංගි, දැන් සාමාන්‍යයෙන් කුඩාම මාළු නෙමෙයි ඔය කපලා උයන මාළු වර්ග තියෙන්නේ, කෙලවල්ලා, බලයා, තලපත් වාගේ මාළුන් තරමක් පොඩි ප්‍රමාණයේ මාළු නම් මම මුලින්ම කියපු විදිහට ශුද්ධ කරලා රවුම් පෙති විදිහට කපාගන්න පුළුවනි. හැබැයි ඔය වර්ගවල ලොකු මාළුනම්, ඒ කියන්නෙ කිලෝ 40 ක් 50 ක් වාගේ මාළු නම් ලොකු කටු අයින් කරලා කෑලි කපලා තමයි ගන්නෙ. කොහොමටත් නංගි අපි ඒවගේ මාළුනම් කපලාමනේ කඩෙන් ගන්නෙත්.
ඔය කටුවල්ලෝ කියන මාළු වර්ගයේ නම් හරියට කටු තියෙන නිසා ඒක කපන විදිහ පොඩ්ඩක් වෙනස්. මොකද කටුවල්ලා මාළුවා W අකුරේ හැඩයට තමයි කපන්නෙ. එතකොට ඇටවල්ලා කියන මාළු වර්ගය V හැඩයට තමයි කපාගන්නේ.
ඔන්න දැන් නංගි මම මේ ගල්මාළුවා හෝදලා, කපලා පහේ දාලා අතගාලයි තියෙන්නෙ. මේක තෙල් පොඩ්ඩක් රත්වෙන්න තියලා තෙලට දාලා වතුරත් ටිකක් දමලා තැම්බෙන්න තිබ්බහම හරි අපුරුයි."
නුවර ලොකු නෑනා සෙව්වන්දිට මාළු ගැන තවත් ගොඩාක් විස්තර කියලා දුන්නා.

විශේෂ ස්තූතිය
ධීවර අමාත්‍යංශයේ ප්‍රධාන අලෙවිසල භාර නිලධාරි ප්‍රදීප් කැලණියගේ සහ
ප්‍රියංකර උදය කුමාර ට

No comments:

Post a Comment