එළවළු ලසඥා Vegetable Lasagna


ලසඥා කියන්නෙත් ඉතාලියෙ හරි ජනපි‍්‍රය කෑමක්. දැන් දැන් ලංකාවේ අය අතරත් මේක ජනපි‍්‍රයයි. මේ ලසඥා ශිට්ස් විදිහට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි අතර ෆ්‍රෙෂ් නොවෙන ඒවා නම් උණු වතුරේ විනාඩියක් දෙකක් තම්බලා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය 


  • ලොකු තක්කාලි ගෙඩි 01 ක් 
  • සුඛිනි ගෙඩියක් 
  • වම්බටු ගෙඩියක් 
  • සුදුලූනු බික් 03 ක් 
  • ලොකු රතුලූනු ගෙඩි 02 ක් 
  • පාස්ලි හෝ කොත්තමල්ලි කොළ ටිකක්
  • තක්කාලි සෝස් (පැණි රස නැති) 
  • බෝතල් 3/4 ක් පමණ 
  • ගම්මිරිස් සහ රස අනුව ලුණු 
  • කුකිං ක්‍රීම් චීස් 
  • බිත්තර ගෙඩියක් 
  • චීස් පවුඩර් ග්‍රෑම් 250 ක් 
  • මොසරැල්ලා චීස් ග්‍රෑම් 300 ක්



සාදන ක්‍රමය 

අපි පළමුවෙන්ම එළවළු එකතු කරල
සෝස් එක සාදමු
ඒ සඳහා පිරිසුදු බඳුනක් ළිප තබා ඔලිව් තෙල් මේස හැඳි 02 ක් දමන්න. එය රත්වීගෙන එනවිට තළාගත් සුදුලූනු සහ කපාගත් ලූනු එකතු කරන්න. මේවා බැදීගෙන එනවිට කපාගත් වම්බටු, සුඛිනි, තක්කාලි දමන්න. ගම්මිරිස් සහ ලුණු ද දමා පාස්ලි හෝ කොත්තමල්ලි කොළ ද එකතු කරන්න. මේ සියල්ල තෙලෙන් තැම්බුණු පසුව තක්කාලි සෝස් ටික එකතු කරන්න. අනතුරුව මඳ ගින්දරේ විනාඩි 10 ක් පමණ තැම්බෙන්නට හරින්න.
දැන් සෝස් එක නිවෙන්නට හැර අපට චීස් ක්‍රීම් එක සෑදිය හැකියි. එහිදී ක්‍රීම් චීස්, බිත්තරය, ගම්මිරිස්, ලුණු සහ සිහින්ව කපාගත් කොත්තමල්ලි කොළ ටිකක් ආදී මේ සියල්ල බඳුනකට දමා ක්‍රීම් එකක් ආකාරයට සාදාගන්න.
දැන් අවන් එකේ තැබිය හැකි බඳුනක් ගෙන එහි බටර් තවරාගන්න. ඉන්පසුව ලසඥා ෂිට්ස් එකක් එහි තබා එළවළු මිශ්‍රණයෙන් කොටසක් ඒ මත අතුරන්න. ඊට උඩින් තවත් ෂීට් එකක් තියන්න. එහි ක්‍රීම් චීස් තවරන්න. නැවතත් ෂීට් එකක් තබා ඒ මත එළවළු මිශ්‍රණය... ඊට උඩින් චීස් පවුඩර් ඇතිරූ ෂීට් එකක් මේ විදිහට ඔබ කැමැති ආකාරයට ෂීට් තියල එළවළු මිශ්‍රණය අතුරා ක්‍රීම් චීස්, මොසරැල්ලා චීස් එකතු කරන්න. උඩින්ම චීස් පවුඩර් සහ ග්‍රේට් කරගත් මොසරැල්ල චීස් එකතු කරලා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 30 ක් බේක් කරගන්න. උඩින් ඇතිරූ චීස් රතු පාට වෙලා වාගේ බුබුළු දමනවිට හොඳින් බේක් වී ඇතිබව පෙනේවි. ඉන්පසුව උණු උණුවේම රසබැලිය හැකියි

No comments:

Post a Comment