බැති සිතින් පේවෙන්න නිර්මාංස කෑම-4

මැයි 31, 2021

 

බුදුන්, දහම්, සඟුන් සරණ යමින් දැහැමි සිතින් පිනකම්වල නිරතවන පින්බර වෙසක් පොහොය අදයි. කෝවිඩ් 19 යළිත් හිස ඔසවා නැවතත් ජන ජීවිතය අඩාලකර අවසන්. ගියවර වෙසක් සමය මෙන්ම මෙවරත් නිවෙස්වලටම වී පින්කම් කරමින් කල් ගෙවන්නට සිදු වෙනවා. නිවෙසේ හිඳින ඔබට ගෙදර දීම බුද්ධ පූජාව සකසා පිළිගන්වන්න පුළුවන්.

නිවෙසේ සිට සිල් සමාදන් වන අයට උපස්ථාන කරන්න පුළුවන්. පවුලේ අයගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්නට දැහැමි සිතින් කෑමබීම සකසා පිළිගන්වන්න පුළුවන්.

ඒ සඳහා අපි මෙවරත් ඔබට නිර්මාංස කෑම, බීම කිහිපයක් රැගෙන එනවා. ඔබේ ගෙවත්තෙන්, වෙළෙඳපොළෙන් පහසුවෙන් සපයාගත හැකි දේවල් උපයෝගී කරගෙන පෝෂණීය බවින් හා රසයෙන් අනූනව මෙලෙස නිර්මංස කෑම සකසා ගනිමු. මෙවර මේ රසවත් කෑම ඔබට තිළිණ කරන්නේ හැමැදාමත් තරුණී සමඟ සෙහෙසින් බැඳී හිඳින ගෘහණියක්. ඇය ආහාර ඡායාරූපකරණයට ද විශේෂ හැකියාවක් දක්වන කාන්තාවකි. ඇගේ අතින් සැකසී ඇගේම ඡායාරූපවලින් හැඩ වූ මේ කෑම අතිරේකය ඔබට ද ආදර්ශයක් වේවි

උපදෙස් හා ඡායාරූප

සූපවේදිනී

තිලානි විතානගේ

 

 

 

පැළ මුං ඇට සලාදය

ප්‍රතිඔක්සිකාරක හා විසබීජ නාශක ගුණති කෑමකි. මුංඇට ග්‍රෑම් 100ක කැලරි 347ක ශක්තිය අන්තර්ගත වෙනවා. එමෙන්ම එහි මේදය අඩංගු වන්නේ ග්‍රෑම් 1ක් තරම් සුළු ප්‍රමාණයක්.

මෙහි කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 63ක් ද ප්‍රෝටීන ග්‍රෑම් 24ක් ද තන්තු ග්‍රෑම් 16ක් ද අන්තර්ගතයි.

සමස්තයක් වශයෙන් ගත් කල්හි මුංඇටවල විටමින් ‘බී‘ ඉහළ මට්ටමක් ඇති අතර විටමින් ඒ, සී, ඊ හා කේ ද සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගතයි.

එමෙන්ම මුං ඇටවල කැල්සියම්, පොටෑසියම්, යකඩ, මැංගනීස්, කොපර්, හා මැග්නීසියම් යන ඛණිජ ලවණත් අන්තර්ගත වෙනවා.

මුං ආහාරයට ගැනීමෙන් රැධිර නාල අවහිර වීම වැළකෙන අතර රුධිර සංසරණය හොඳින් සිදුවෙනවා. මුං ඇට ආහාරයට ගැනීම මඟින් රැධිර ග්ලූකෝස් මට්ටම මෙන්ම, කොලෙස්ටරෝල්, හා ට්‍රයිග්ලිසරයිඩ් මට්ටමත් අඩු කරනවා.

 

අවශ්‍ය වන්නේ

 

පැළ කරගත් මුං ඇට කෝප්පයක්

ග්‍රේට් කරගත් කැරට්

ලියාගත් අමුමිරිස්, රතු ලූනු හා තක්කාලි

කබලේ බැදගත් තල ඇට මේස හැඳී 2 ක්

ලියාගත් කොත්තමල්ලි කොළ

සිහින්ව කපාගත් බෙල් පෙපර්

ඔලිව් තෙල් තේ හැන්දක්

පදමට ලුණු හා දෙහි ඇඹුල්

මී පැණි මේස හැන්දක්

අවශ්‍ය නම් පමණක් විනාකිරි ටිකක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

 

හදන්නේ මෙහෙමයි

 

පැළ මුං ඇටවලට උණු වතුර දමා විනාඩි 5ක් පමණ වසා තබා හොඳීන් මිරිකා ගන්න. දැන් පැළ මුං ඇට ටික භාජනයකට දමා එයට ඉතුරු සියලුම දේවල් එකතුකර, පොඩි නොවන සේ හැන්දකින් මිශ්‍රකර කෑමට ගන්න. කෑමට මොහොතකට පෙර සාදා ගන්නවා නම් වඩාත් රසයි.

 

-------------------

චව් චව් ඇඹුල

ඉන්දුනීසියාවේ ජනප්‍රිය කෑමක් වන "චව් චව්" ලංකාවේ අපි නම් වැඩිය ආහාරයට ගන්නා කෑමක් නම් නොවේ. ඉන්දුනීසියාවේ සාම්ප්‍රදායික වෛද‍ය ක්‍රමයට අනුව දෙහි යුෂ හා චව් චව් යුෂ අඬු කෝප්ප 2ක් දිනකට පානය කිරීමෙන් අධික රුධිර පීඩනය පාලනය කරගත හැකි බව සොයාගෙන තියෙනවා.

අස්ථි නිරෝගීතාවට අවශ්‍ය කැල්සියම්, මැග්නීසියම් හා විටමින් බහුල චව් චව් මැල්ලුමක් ලෙස, කිරට හෝ ඇඹුලට පිස ගත හැකියි.

 

අවශ්‍ය දේවල්

 

තරමක චව් චව් ගෙඩියක්

තළාගත් සුදුලූනු

ලියා ගත් රතු ලූනු, කරපිංචා, අමු මිරිස් හෝ කොච්චි, සේර හා රම්පේ

උළුහාල්, අබ හා කුරුඳු පොත්තක්

කහ, අමු තුනපහ කුඩු, මිරිස් කුඩු හා බැදපු තුනපහ කුඩු ඔබේ රස පදමට

කර නොවෙන්න කබලේ බැදගත් මිරිස් කුඩු තේ හැඳි භාගයක් වෙනම

ගොරකා පේස්ට් හෝ සියඹලා

පේස්ට් තේ හැන්දක්

කැබලි කපාගත් තක්කාලි ගෙඩි 2ක්

මිටි කිරි හා දිය කිරි වෙන වෙනම

රස අනුව ලුණු

 

හදන්නේ මෙහෙමයි

 

චව් චව් ගෙඩියේ පොත්ත ඉවත්කර සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි කපා ගන්න. මැද ඇති ළා කහ පාට කොටසත් කිරි රසයෙන් යුක්ත නිසා ගන්න පුළුවන්. දැන් චව් චව් කෑලි ටික මැටි භාජනයකට දමා දියකිරි හා අනෙක් සියලුම දේවල් එකතුකර හොඳින් මිශ්‍ර කර ළිපේ තියා අඩු ගින්දරේ පිසින්න. දිය කිරි හිඳෙනකොට මිටි කිරි එකතු කරන්න. ලුණු මදි නම් එකතු කරන්න. හොද්ද උතුරනකොට පියනකින් වසා කෑලි හොඳින් තැම්බී, උඩට තෙල් පෑදෙනකම් මඳ ගින්නේම පිස ගන්න.

----------------

කෝප්ප කොළ මැල්ලුම

අපේ පැරැන්නන් කාපු වස විස නැති රසවත් කොළ මැල්ලුමක් තමයි මේ කෝප්ප කොළ මැල්ලුම. මෙය එක එක කාලෙට සමාජයේ කන්න හොඳ නෑ කියලා පැතිරෙන කට කතා නිසා අපෙන් වඳ වී යන කොළ වර්ගයකි.

ඉස්සර අපේ ගෙවල්වල වැටවල්වලට හිටවපු අලංකාර කොළ තියෙන ගස් වර්ගයක්. බොහෝ දෙනෙක් කලවම් පලා මැල්ලුමට මේවා එකතු කරනවා. අඩු ප්‍රෙෂර් (Low Pressure) තියෙන අයට කන්න හොඳ නෑ කියලත් කියනවා. අධික රුධිර පීඩනය තියෙන අයට ප්‍රෙෂර් අඩුකර ගන්න නම් හොඳයි. මෙය සමහරු කොස් ඇට දමා මලවනවා. කොහොම හැදුවත් රසවත් වගේම ගුණදායී මැල්ලුමක්.

 

අවශ්‍ය දේවල්

 

පිරිසුදු කර ගත් ළපටි කෝප්ප

කොළ ටිකක්

පොල් මිටක්

ලියාගත් අමුමිරිස් හා රතු ලූනූ

කහ ස්වල්පයක්  අත්‍යවශ්‍යම නෑ)

පදමට ලුනු

 

හදන්නේ මෙහෙමයි

 

සිහින්ව ලියාගත් කොළ ටිකට ඉතුරු සියලුම දේවල් දමා කොළ පොඩි නොවන සේ අතින් මිශ්‍ර කරන්න. දැන් කොළ මැල්ලුමට තෙල් ස්වල්පයක් අතගා තත්පර කිහිපයක් ළිපේ තබා කූරූ ගාමින් මලවාගෙන ළිපෙන් අයින්කර වෙනත් භාජනයකට මාරු කරන්න. නැත්නම් භාජනයේ රස්නෙට මැල්ලුමේ ලස්සන කොළ පැහැය නැති වෙනවා.

No comments:

Post a Comment