සැබෑ ලෙසම ආහාර ඔසුවක් වීමට නම්.. ආහාර සැකසීමේ කලාව නිසි ලෙස ප්‍රගුණ කරන්න...

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්
මැයි 19, 2021

 

අපගේ ජීවිත පවත්වාගෙන යාමට නම් ආහාර අත්‍යවශ්‍ය ය. කුසගින්න ඇති වුණ විට ආහාර ගැනීමට බොහෝ දෙනා පුරුදු වී සිටිති. මේ නිසා ඇතැම්හු කෙසේ හෝ ආහාරයක් සකසා එය බඩගින්න නිවීමට යොදා ගනිති.

එහෙත් මෙය එතරම් සුදුසු වූවක් නොවේ. ඉන් ආහාර ගැනීමට ප්‍රියතාවක් ඇති නොවේ. ඒ නිසා ආහාරයට ගන්නා දෙය පෝෂ්‍යදායී ගුණය සුරැකෙන ලෙසත් රුචියක් ඇතිවන ලෙසත් පිළියෙල කර ගැනීමෙන් කෙනකුට කුසත් සිතත් පිරෙන ලෙස එම ආහාරය ගත හැකිය.

ආහාර සැකසීම ද කලාවකි. ආහාර එකිනෙක ගළපා නියමිත ආහාර වට්ටෝරුවක් සකසා ගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු ඇත. එමෙන්ම අහාරයක් සැකසීමේ දී එම එළවළු, මාළු ආදිය කපන ආකාර ද විවිධ ය. ඉන් ආහාරයට රසය මෙන්ම නෙතට ප්‍රිය බවක් ද ඇති වේ. එසේ නැතිව හැම එළවළුවක් ම එකම ආකාරයට කපා කොටා, එකම පහේ වර්ග දමමින් සැකසූ විට එහි ගුණය කෙසේ වෙතත් රසය හා පෙනුම නම් නීරස විය හැකිය.

ආහාර සැකසීමේ කලාවේ දී අප එම අමුද්‍රව්‍යයේ රැකිය යුතු දේ ද ඇත. එලෙස ආහාර සැකසීමේදී රැක ගත යුත්තේ මොනවාදැයි බලමු. එම එළවළුවේ නැතිනම් එම අමුද්‍රව්‍යයට අදාළ ආවේණික වර්ණය රැකගත යුතුය. ආහාරය සැකසීමේ දී හැකි තරම් එහි ආවේණික වර්ණය රැක ගැනීමට උනන්දු විය යුතුයි. එමෙන්ම අමුද්‍රව්‍යයට අදාළ ආවේණික රසය රැකගැනීම ද වැදගත් ය. මන්ද එක් එක් එළවළු, පලතුරු ආදියේ ගුණය රැකෙන්නේ ද මේ එයට ආවේණික වර්ණය හා රසය රැකගන්නා පමණට නිසයි. එමෙන් ම මේ ආහාරය ඖෂධයක් වීමට ද මේ කරුණු ඍජුවම බලපානු ලබයි.

උදාහරණයක් විදියට ගතහොත් කැරට්, බීට්, වට්ටක්කා, පලා වර්ග, බෝංචි, කරවිල, වම්බටු ආදී එළවළු ගතහොත් මේ එළවළු හා පලා වර්ගවල එකිනෙකට වෙනස් වර්ණයන් හා රසයන් පවතී. මේ එළවළු හා පලා වර්ගවල තිබෙන රසය හා පෝෂ්‍ය ගුණය ලබා ගැනීමට නම් ඒවායෙහි ආවේණික ගුණයන් එලෙසින් ම ලබා ගත යුතුය.

එමෙන්ම ආහාරවල අලංකාරවත් බව ලබා ගැනීමට ද එළවළු, පලතුරු, පලා වර්ගවල ඇති වර්ණයන් ඔබට උපයෝගී කරගත හැකියි. නෙත පිනවන ආහාර වේලක් දුටු විට එය ආහාරය ලබා ගැනීමට ආසාවක් ඇති කිරීමටත් මුවට කෙළ ගලා ඒමෙන් ජීර්ණය හොඳින් සිදු වීමටත් හේතුවක් වේ. ආහාර සැකසීමේ දී මේ ස්වභාවික වර්ණයන් ගළපා ගැනීමේන් ඔබට ආහාර පිඟාන ලස්සන කරගත හැකියි.

ආහාර සැකසීමේ දී එක් එක් අමුද්‍රව්‍ය කපන ආකාරය වුවද වෙනස් ය. උදාහරණයක් ලෙස අමු මිරිස් හැම ආහාරයක් සැකසීමේ දී ම එකම හැඩයකට කපන්නේ නැත. සාමාන්‍ය එළවළුවක් සැකසීමේ දී අමු මිරිස් තරමක කැබැලිවලට කපන අතර මෝජු, අච්චාරු ආදිය සැකසීමේ දී මිරිස් කරල දෙකට හෝ හතරට පලා ගැනීමක් සිදු කරයි. එමෙන්ම සම්බෝල වර්ග, මැල්ලුම් වර්ග ආදියේ දී අමු මිරිස් ඉතා සිහින් ව කපා ගත යුතුයි.

බණ්ඩක්කා කිරට ඉවීමේ දී සාමාන්‍ය ප්‍රමාණයේ කැබැලිවලට කැපූවද එය තෙල් දමා සකසන විට ඊට වඩා වෙනස් හැඩයකට (තරමක කුඩා කෑලි ලෙස) කැපිය යුතුය. කැරට් වුවද කිරට උයන විට, සම්බෝල සකසන විට (ඉතා සිහින්ව හෝ ග්‍රේටරයෙන් ගාගෙන), සලාද (පෙති ලෙස හෝ කොටු ලෙස), තෙල් දමන විට ආදී විවිධ ක්‍රමවලට සැකසීමේ දී ඒවා කපන හැඩය ද වෙනස් විය යුතුයි. කරවිල උයන විට (දිග හැඩයකට)හා සම්බෝල සැකසීමේ දී හෝ බැදීම සඳහා (පෙති ලෙස) කපන විට වෙනස් හැඩයන්ට කැපිය යුතුයි.

මෙලෙසින් එළවළු කපන හැඩය අනුව ද එහි ගුණය රැකීම, කෑමට ප්‍රියතාවක් ඇති වීම මෙන්ම විවිධත්වය නිසා ඇතිවන අලංකාරය ද කෑම මේසයට එකතු වේ. ආහාර සැකසීම කලාවක් වන්නේ ඒ නිසයි. හතර අතට ම කපා අතට අහුවන අමුද්‍රව්‍ය එකතුකොට ඔහේ සකසන ආහාරයකට වඩා කලාවකට අනුව පිළිවෙළට සකසන ආහාර රසයෙන්, ගුණයෙන් මෙන්ම ප්‍රිය උපදවන පෙනුමකින් ද යුතු වේ.

එමෙන්ම ඕනෑම කලාවක දී කලා කෘතිය සමඟ කලාකරුවා ඒකාත්මික විය යුතුය. ආහාර සැකසීමේ කලාවේ දී ද එය එසේ ම ය. ඔබ ඔසුකුටියට පිවිසිය යුත්තේ මනස නිරවුල්ව තිබිය දී ය. ඔබේ මනස නිරවුල් වී තමා සකසන ආහාරය ගැන සිහිය පවත්වා ගැනීමෙන් රසවත් ආහාර සැකසීමේ හැකියාව ඔබට උදා වේ. ආහාර සකසන විට, තේ එකක් හදන විට පවා මා මේ සකසන ආහාරය බුක්ති විඳින අය නිරෝගී වෙත්වා යන ප්‍රාර්ථනය සිතේ තබා ගන්න. එම ප්‍රාර්ථනාව ඔබේ ඔසුකුටිය තුළ ඔබ සකසන ආහාර අනිවාර්යයෙන් ම නිරෝගී බව ලබා දෙන ඔසු බවට පත් වීම සිදු වේ. එය ඔබේ මනස නිරෝගී වීමට ද, සතුටින් ඔසුකුටියේ වැඩකටයුතු කිරීමට ද හැකියාව ඔබට ලබා දේවි.

 

No comments:

Post a Comment