බැති සිතින් පේවෙන්න නිර්මාංස කෑම-3

මැයි 19, 2021

 

බුදුන්, දහම්, සඟුන් සරණ යමින් දැහැමි සිතින් පින්කම්වල නිරතවන පින්බර වෙසක් මහ ඇරැඹිලා. කෝවිඩ් 19 යළිත් හිස ඔසවා නැවතත් ජන ජීවිතය අඩාලකර අවසන්. ගියවර වෙසක් සමය මෙන්ම මෙවරත් නිවෙස්වලටම වී පින්කම් කරමින් කල් ගෙවන්නට සිදු වෙනවා. නිවෙසේ හිඳින ඔබට මේ කාලයේ පවුලේ අයගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්නට දැහැමි සිතින් කෑමබීම සකසා පිළිගන්වන්න පුළුවන්. ඒ සඳහා අපි මෙවරත් ඔබට නිර්මාංස කෑම, බීම කිහිපයක් රැගෙන එනවා.

තරුණී සමඟ සෙනෙහසින් බැඳී හිඳින ඔබට මේ කාලය දැහැමි සිතින් ගෙවන්නට නිර්මාංස කෑම කන්නට වෙන්කළ හැකියි. ඒ නිසාම අපි පින්බර වෙසක් මාසය පුරාවටම ඔබට නිර්මාංස ආහාර වට්ටෝරු තිළිණ කරන්නෙමු. ඔබේ ගෙවත්තෙන්, වෙළෙඳපොළෙන් පහසුවෙන් සපයාගත හැකි දේවල් උපයෝගී කරගෙන පෝෂණීය බවින් හා රසයෙන් අනූනව මෙලෙස නිර්මාංස කෑම සකසා ගනිමු.

මෙවර මේ රසවත් කෑම ඔබට තිළිණ කරන්නේ හැමදාමත් තරුණී සමඟ සෙනෙහසින් බැඳී හිඳින ගෘහණියක්. ඇය ආහාර ඡායාරූපකරණයට ද විශේෂ හැකියාවක් දක්වන කාන්තාවකි. ඇගේ අතින් සැකසී ඇගේම ඡායාරූපවලින් හැඩ වූ මේ කෑම අතිරේකය ඔබට ද ආදර්ශයක් වේවි

 

 

 

උපදෙස් හා ඡායාරූප  සූපවේදිනී තිලානි විතානගේ

 

 

 

තැම්බුම් හොද්ද

කොරෝනා වසංගතය ආයෙමත් හිස ඔසවලා. දැන් ඔබේ පවුලේ සාමාජිකයන්ගේ නිරෝගීබව රැකගන්න, ප්‍රතිශක්තිකරණය වැඩිකරගන්න අවශ්‍ය ආහාරපාන වැඩි වැඩියෙන් ගත යුතුයි.

එහිදී ප්‍රතිශක්තිය වර්ධනය කරන දේශීය තැම්බුම් හොද්ද අමතක කළ නොහැකියි. ඒ නිසා තැම්බුම් හොද්දේ ගුණ දැනගෙන ඔබත් එය නිතර සකසා පවුලේ අයට පානය කරන්න දෙන්න.

එය ශරීරයේ ප්‍රතිශක්තිය වඩවයි.

ආහාර රුචිය ඇති කරයි. බඩේ අජීර්ණයට ගුණදායකයි. දියවැඩියාව හා කොලෙස්ටරෝල් ඇති අයට ද ගුණදායකයි. මල/මුත්‍රා පිටවීම නිසි පරිදි සිදුවේ. වාත රෝගවලට හා ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරයි.

 

අවශ්‍ය දේවල්

 

කොත්තමල්ලි මිටක්

නැවුම් කරපිංචා ඉති 2ක්

සූදුරු/මහදුරු ස්වල්පය

බැගින්

සුදුලූනු බික් 6ක්

ගම්මිරිස් ඇට 5ක්

ගොරකා කැබලි 3ක්

සියඹලා ටිකක්

කුඩා මුරුංගා පොත්තක්

ඉඟුරු කැබැල්ලක්

රතු ලූනු ගෙඩි කිහිපයක්

කුරුඳු පොත්තක්

උළුහාල් ඇට කිහිපයක්

 

හදන්නේ

මෙහෙමය

 

මැටි ඇතිළියකට අමුද්‍රව්‍ය සියල්ලම දමා ඒකට වතුර පීරිසි කෝප්ප 5ක් දාලා ලුණු ස්වල්පයක් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.

ළිපේ තබා රසවත් සුවඳක් එනකම් තම්බා ගන්න.

මෙය මඳ උණුසුම්ව පානය කරන්න. ආහාර ගන්නා අතරතුර වුවද පානය කළ හැකියි.

 

 

******************************

පැණි වරකා ජූස්

අවශ්‍ය දේවල්

 

ඇට ඉවත් කළ හොඳින් ඉදුණු වරකා මදුළු කිහිපයක්

ලුණු ස්වල්පයක්

පදමට සීනි හා දෙහි යුෂ (අවශ්‍ය නම් පමණක්)

අයිස් කැට කිහිපයක්

 

හදන්නේ මෙහෙමයි

 

වරකා මදුළු, ලුණු හා සීනී දමා හොඳින් බ්ලෙන්ඩ්කර වීදුරුවකට දමා දෙහි යුෂ ද එකතුකර අයිස් කැට කිහිපයක් එකතුකර රස විඳින්න.

*************************

කොහිල අල ඇඹරුම් මාළුව

අවශ්‍ය දේවල්

 

නැවුම් කොහිල අල 2 ක් (කොහිල

අල ශුද්ධකර කුඩා කොටු කපා ගන්න)

සාමාන්‍ය උකු පොල් කිරි කෝප්පයක්

තළාගත් සුදු ලුනු

ලියා ගත් රතුලූනු, කරපිංචා,

අමු මිරිස් හා රම්පේ

අබ ස්වල්පයක්

කහ, අමු තුනපහ කුඩු, මිරිස් කුඩු, බැදපු

තුනපහ කුඩු ඔබේ රස පදමට

කුරුඳු කැබැල්ලක්

කැබලි කපාගත් ඉදුණු තක්කාලි

ගෙඩියක්

කඩල පිටි මේස හැඳි 2ක්

රස අනුව ලුණු

බැදීමට තෙල්

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම කොටු කපාගත් කොහිල අල ටික ඇතිළියකට දමන්න. එයට වැහෙන්න වතුර එකතුකර ළිපේ තබා තම්බා ගන්න. අතින් ඇල්ලූ විට කෑලි පොඩිවන තරමට හොඳින් තම්බා ගන්න. තම්බා ගත් කොහිල කැබලිවල වතුර පෙරාගෙන එයට තළාගත් සුදු ලූනු හා ලුණු ස්වල්පයක් එකතුකර වංගෙඩියක දමා හොඳින් කෑලි පොඩි වී තලපයක් වගේ වෙනකම් කොටා ගන්න. මෙහි කෙඳි ගතිය නිසා ග්‍රයින්ඩරයෙන් කොටන්න බෑ. දැන් තලපයක් වගේ කොහිල අල මිශ්‍රණයට කඩල පිටි එකතු කරන්න. එතකොට මිශ්‍රණය ටිකක් ඝනකම් වෙනවා. මේ මිශ්‍රණයෙන් ටික ටික අතට අරන් ඔබ කැමැති ප්‍රමාණයක කුඩා බෝල සාදා රත් වූ ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගෙන තෙල් බේරා ගන්න. මේ කොහිල බෝල ක්‍රිස්පි ගතියෙන් යුක්තයි.

දැන් මැටි භාජනයකට බැදගත් කොහිල බෝල ටික දමා එයට තුනපහ වර්ග, අබ,කුරුඳු කැබැල්ල හා පොල් කිරි ද එකතුකර පදමට ලුණු දමා මඳ ගින්දරේ හොද්ද මඳක් උතුරනකම් පිස ගන්න. හරිම රසවත් ව්‍යාංජනයකි.

 

 

No comments:

Post a Comment