ආහාර රසවත් කරගන්න පුංචි පුංචි රහස්..

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්
මැයි 12, 2021

 

කටට රසට ආහාර වේලක් ගැනීමට සෑම පුද්ගලයෙක් ම කැමැත්තක් දක්වයි. ආහාර සැකසීමේ දී විවිධාකාර දේ යොදා ගනිමින් එහි ඇති රසය, ගුණය වැඩි කිරීමට හැම දෙනාම උනන්දු වන්නේ එබැවිනි.

එහෙත් අප ආහාර සැකසීමේ දී සිදු කරන ඇතැම් දේ නිසා ආහාරයේ රසය, ගුණය වර්ධනය වුවද ඇතැම් දේ නිසා සිදුවන්නේ ආහාරයේ රස වැඩි වුවත් ගුණයට හානි වීමයි. මේ නිසා ආහාර සැකසීමේ කලාවේ දී දැනගත යුතු කුඩා වුවත් වැදගත් රහස් බොහොමයකි.

ඉවුම් පිහුම් කලාවේ ප්‍රවීණයකුගෙන් ඒ දේවල් ඉගෙන ගැනීමට හැකි වීම තරුණී පාඨක ඔබ ලද භාග්‍යයකි. ඔබ නොදන්නා ඉවුම් කලාවේ රස රහස් අප ගෙන එන්නේ ඔබේ මුළුතැන්ගෙය සැබෑම ඔසු කුටියක්, රස නිෂ්පාදනාගාරයක් කිරීමේ අරමුණ ඇතිවයි.

ඔබ යම් ව්‍යාංජනයකට අබ යොදා සකසනවා නම් කිසි විටෙක එම ව්‍යාංජනය ඒදන අවස්ථාවේදී (මුලින් තුනපහ දමා සකසන විට) අබ නොයෙදිය යුතුයි. එසේ මුල් අවස්ථාවේ දී අබ යෙදීමෙන් අබවල ඇති රසය හා ඖෂධීය ගුණය නැති විය හැකියි. එමෙන්ම ව්‍යාංජනයට යම් තිත්ත රසයක් ඇති විය හැකියි. එමනිසා මිටිකිරි දමන අවස්ථාවේදී හෝ ව්‍යාංජනය ළිපෙන් බෑමට ආසන්න අවස්ථාවේ දී අබ එකතු කිරීම වඩාත් සුදුසු ය.

උළුහාල් ව්‍යාංජනයකට එකතු කිරීමේ දී ඇතැම් අය බැදගත් උළුහාල් එකතු කිරීමටත් තවත් අය උළුහාල් නොබැද එකතු කිරීමටත් පුරුදු වී සිටිති. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ අමු උළුහාල් ව්‍යාංජනවලට එකතු කිරීමෙන් ඉක්මනින් එම ව්‍යාංජන පිළුණු වීමට ඉඩ ඇති බවයි. උළුහාල්වල ඇති සෙවල ගතිය නිසා එසේ වේ. බැදගත් උළුහාල් එකතු කිරීමෙන් සුවඳක් ද ව්‍යාංජනයට ලැබීම අමතර වාසියකි. එමනිසා ව්‍යාංජනවලට දැමීමට තබා ගන්නා උළුහාල් බැද අසුරා තබා ගැනීම වඩාත් සුදුසු යි.

රම්පෙ බොහෝ විට අප භාවිත කරන්නේ සුවඳ කාරකයක් ලෙසයි. එහෙත් රම්පෙවල විස උරා ගැනීමේ විශේෂ ගුණයක් ඇත. එමනිසා යම් ආහාරයක ඇති විස කොටස් උරා ගැනීමට ද රම්පෙ යෙදීමේ අරමුණයි. අද ඇතැම් අය ආහාරවලට රම්පෙ එකතු කිරීමේ දී ඉතා කුඩාවට කපා එක් කිරීම සිදු කරයි. එහෙත් දැන් ඔබට එය සුදුසු නැති බව වැටහෙනවා ඇති. රම්පෙ තරමක් ලොකු කැබැලි ලෙස කපා ආහාරයට එකතු කළ යුත්තේ එය ඉවත් කිරීමට හැකි වන ආකාරයෙනි. නැතිනම් අපට එම කුඩා රම්පෙ කැබැලි ශරීරගත වීමෙන් එය ආහාරයෙන් උරා ගත් විස ද සිරුරට නැවත එකතු වේ. මේ නිසා රම්පෙ කැපීමේ දී කුඩාවට නොකපා තරමක කැබැලි ලෙස යෙදීමට මතක තබා ගන්න.

එහෙත් කරපිංචා ඖෂධයක් වන බැවින් එය කුඩාවට කපා ආහාරයට එකතු කිරීම වඩාත් සුදුසුයි. එවිට අප නොදැනීම කරපිංචා ආහාරය සමඟ අපේ සිරුරට ලබා ගත හැකියි. කරපිංචා නොකපා එකතු කිරීමේ දී බොහෝ දෙනා කරපිංචා ඉවත්කර ආහාර ලබා ගැනීමට පුරුදු වී සිටින්නේ එහි ඇති ඖෂධීය ගුණය ගැන නොදන්නා බැවිනි.

ඔබ කරපිංචා කැඳක් සාදන්නේ නම් කරපිංචා කොටා වතුර ඉතා ස්වල්පයක් දමා යුෂ මිරිකා ගන්න. පොල්කිරි සමඟ කැඳට දමන අනෙකුත් ද්‍රව්‍ය දමා කැඳ උතුරවා අවසානයේ දී ළිප නිවා කරපිංචා කොළ යුෂ කැඳට එකතු කළ යුතුයි. එලෙසින් කැඳ සැකසූ විට එහි පැහැය, ගුණය, රසය මෙන්ම සුවඳ ද රැකෙයි.

එමෙන්ම ඔසුකුටියේ ආහාර සකසන විට දී නිතරම තමා සකසන ආහාරය ගැනම සිත යොමු කරමින් එය සෑදීම මඟින් එයට ලුණු, පහේ වර්ග දැමීම අතපසුවීම් මඟහරවා ගත හැකියි. ආහාර සකසන විට එය භාවනාවක් කරගන්න. තමා සකසන ආහාර බුක්ති විඳින සියලු දෙනාට ම එය මහඟු ඖෂධයක් ම වේවා යි ප්‍රාර්ථනා කරන්න. මෙය ඔබගේ යහපතට මෙන්ම පවුලේ අයගේ යහපතට ද හේතුවක් වේවි. ආදරයෙන් සකසන ආහාර කිසිම විටෙක විස වීමක් නීරස වීමක් සිදු වන්නේ ද නැත.

 

 

 

No comments:

Post a Comment