වෙල් අලකොළ ඇඹුල පුදුමාකාර රසවත්

මැයි 13, 2020

අතේ මිටේ කොයිතරම් මිල මුදල් ගැවසුණත් මේ දවස් වල හැමෝටම ආහාර අහේනියයි. ඒ කියන්නේ හිතෙන හිතෙන කෑම මිලදී මිලදී ගන්න බැහැ. ඒ නිසා නිවසේදීම පිසින ගුණදායක , රසවත් ආහාරවලට තමයි වැඩිම ඉල්ලුම .

මේ නිසාම අපේ ගෘහණියන් අලුත් අලුත් ආහාර වර්ග අත්හදා බලන්නත් මේ කාලවකවානුව යොදාගන්නවා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ගෙවත්තෙන් හොයා ගන්නා එළවළු, පලා , අල වර්ග ප්‍රයෝජනයට ගන්නත් හොඳම කාලයයි .

පසුගිය දවසක මුණගැසුණු අපේ ප්‍රවීණ ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා අපූරු වෙල් අල කොළ ඇඹුලක් ගැන අපට පැවසුවා. වර්තමානයේ බොහොමයක් දෙනා රස බලලා තියා අහලවත් නැති වෙල් අලකොළ ඇඹුල අතීතයේ දී නම් හරිම ජනප්‍රිය කෑමක්. අදටත් ගමේ ගෙදරක පිසෙන මේ වෙල් අලකොළ ඇඹුල බතට විතරක් නෙවෙයි පාන්, ඉඳීආප්ප, රොටි ආදියටත් හරි අපූරුවට පෑහෙනවා.

අපටම ආවේණික ඇඹුල ආහාර පිසමනේ ප්‍රධාන තැනක් ගත්ත වෙල් අලකොළ ඇඹුල නිරන්තරයෙන් ම භාවිත වුණේ එමගින් බඩේ අමාරු වගේම මුත්‍රා ආසාදන පහසුවෙන් නැති කරන නිසාත් මේවා ඕවිට වල් හා දිය කඩිති ආසන්නයේ පහසුවෙන් වැවෙන නිසාමයි.

සාමාන්‍යයෙන් වෙල් අලකොළ ඇඹුලක් කන්නට පළමුවෙන්ම අල ගොබ කඩා තව් මැරෙන්නට තැබිය යුතුයි. ඒ නිසා අලකොළ කඩාගත් දිනයේදීම ඒවා පිසිය නොහැකි අතර කඩාගත් අල දලු මඳ පවනේ දිනයක් දෙකක් තව් මැරෙන්නට ඒ කියන්නේ මැළවෙන්නට තබන්න. අනතුරුව අල කොළ දලුවල අගිස්ස ගැට ගැසිය යුතුයි. එසේ නොකළ හොත් පිසින විට මේ දලුකොළ දිය වීමට ඉඩ ඇත.

යහමින් ගොරකා යොදා ඇඹුල වැඩියෙන් පිසගැනීම, වාගේම කොස් ඇට වැනි දෙයක් මිශ්‍ර කළවිට හරිම රසවත් .

 

මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ...

වෙල් අලකොළ

රතු ලූනු ගෙඩි කිහිපයක්

අමු මිරිස් කරල් තුනක්

ගොරකා බික් කිහිපයක්

රම්පෙ කරපිංචා

මිරිස් කුඩු සහ තුනපහ අවශ්‍ය පමණට

කහ කුඩු ස්වල්පයක්

රස අනුව ලුණු

පොල්තෙල් ස්වල්පයක්

අබ ස්වල්පයක්

මිටිකිරි අඬු කෝප්ප දෙකක්

සාදා ගන්නේ මෙහෙමයි ..

පළමුවෙන්ම ගැට ගසා තව් මැරෙන්නට තැබූ අලකොළ හොඳීන් සෝදන්න. අනතුරුව ඒවා තරමක කැබලි කපා ඇතිලියකට දමන්න . එයටම කපාගත් රතුලූනු, අමු මිරිස්, ගොරකා, මිරිස් කුඩු, තුනපහ ,කහ, ලුණ, රම්පෙ කරපිංචා ආදිය දමන්න. තිබෙනවා නම් කොස් ඇට කිහිපයක් පොතුහැර සිහින්ව කපා මෙයට එකතු කරන්න. දැන් මිටිකිරි ටික ද එකතු කර මඳ ගින්නේ පිසෙන්නට හරින්න.

 

ව්‍යංජනය හොඳට හිඳුණු පසුව වෙනත් බඳුනකට මාරු කරන්න . වෙල් අල කොළ ව්‍යංජනය පිසගත් ඇතිලියම නැවතත් ළිප තබා පොල්තෙල් ස්වල්පයක් දමන්න. එය රත් වී ගෙන එනවිට අබ ස්වල්පයක් දමන්න. අබ පුපුරන විට සිහින්ව ලියා ගත් රතු ලූනු සහ කරපිංචා එකතු කරන්න. අනතුරුව පසෙකින් තැබූ වෙල් අලකොළ ව්‍යංජනය දමා හොඳීන් තෙම්පරාදු කර ගන්න. මේ දිනවල විවේකීව සිටින ඔබ මෙම ව්‍යංජනය සාදා බලන්න පවුලේ කොයි කවුරුත් මේ වෙනස් රසයට වඩාත් කැමැති වේවි.

 

විශේෂ ස්තුතිය ප්‍රවීණ ලේඛක, ජනශ්‍රැති

පර්යේෂක

මහින්ද කුමාර දළුපොත මහතාට

No comments:

Post a Comment