අතුරුපසක මිහිරියාව

දෙසැම්බර් 4, 2019

උදෑසන මිහිදුම් සළු පොරවාගත් පරිසරයත් ගත දැවටෙන ශීතලත් කියන්නේ මේ සුන්දර දෙසැම්බරය උදාවී ඇති බවයි. හැමෝම ඉන්නේ සතුටින්. කොයි කවුරුත් උත්සව සමයට සූදානම් වන මේ උඳුවප් මහ වැඩියෙන් වැදගත් වන්නේ කිතුණු බැතිමතුනටයි. ඒ ජේසු සමිඳාණන්ගේ උපත සමරන සුන්දර නත්තල නිසාමයි. කෑමබීම, ඇඳුම් පැලඳුම් වගේම නිවෙස හැඩකරන්නත් වෙහෙසෙන ගෘහණියන්ගේ වැඩිම අවධානයක් යොමුවන්නේ නත්තලට සැකසෙන කෑමබීම පිළිබඳවයි.

ඒ බව දන්නා තරුණී ඔබ ළඟින්ම හිඳගෙන රසවත් කෑමබීම නිවැරැදිව පිළියෙල කරගන්නා අයුරු පැහැදිලිකර දෙනවා. ඒ සඳහා අප සුවිශේෂී අතිරේක පෙළක්ම ඔබට ලබා දෙනවා. එහි අතුරුපස වෙනුවෙන් වෙන් වූ සුවිශ්ෂී තිළිණයයි මේ. ලෙහෙසියෙන් පහසුවෙන් සාදාගත හැකි මෙම අතුරුපස උත්සව දවස්වල රස බලන්නට වගේම නෑ හිතමිතුරන්ට සංග්‍රහ කරන්නත් කදිමයි.

ක්‍රිස්මස් ස්විර්ල් ෆජ් - christmas swirl fudge

කොළ, රතු සහ සුදු වර්ණය මිශ්‍ර වූ මේ ස්විර්ල් ෆජ් පෙනුමෙන් බොහොම ලස්සනයි. රසයෙනුත් අනූනයි.

පොඩිත්තන් වැඩියෙන්ම කැමැති මේ වගේ රසවත් දෙයක් අතුරුපසට සකසා දෙන්න ඔබටත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

වයිට් චොකලට් කෝප්ප 2 ක් (ග්‍රෑම්

350 ක්)

වැනිලා ෆ්‍රොස්ටිං ග්‍රෑම් 450 ක්

රතු හා කොළ ආහාර වර්ණක

සාදන ක්‍රමය

අඟල් 8×8 ප්‍රමාණයේ බේකිං තැටියක් ගෙන ෆොයිල් කඩදාසි දමා සකසා කුකිං ස්ප්‍රේ ඉසගන්න. නැතිනම් බටර් ගාගන්න. ඩබල් බොයිල් ක්‍රමයට වයිට් චොකලට් දියකරගෙන එයට වැනිලා ෆ්‍රොස්ටිං දමන්න. (වැනිලා ෆ්‍රොස්ටිං සාදන ආකාරය මෙම අතිරේකයේ දැක්වේ.) දැන් එම මිශ්‍රණය කොටස් තුනකට වෙන්කර එකකට රතු පැහැයත් අනෙකට කොළ පැහැයත් දමන්න. ඉතිරි එකට වර්ණක දමන්න එපා.

දැන් එම වර්ණක දැමූ ෆ්‍රොස්ටිං රූපයේ පෙනෙන ආකාරයට එකින් එක මිශ්‍රවන ලෙස තැටියට දමන්න. එය රටාවකට කලවම්කර ශීතකරණයේ අවම වශයෙන් පැයක්වත් තබා පිටතට ගෙන කැබලි කපා සංග්‍රහ කරන්න.

සූපවේදී ජොයෙල් මිල්ලේ

No comments:

Post a Comment