නත්තල් මේසය හැඩකරන කැවිලි

දෙසැම්බර් 2, 2020

මේ සීතල උඳුවප් මාසයේ ආරම්භයත් සමඟ සිහිගන්වන්නේ අසිරිමත් නත්තලයි. සීනු හඬින් ලොවම අවදි කරවන සාමයේ කුමරා වූ ජේසු බිලිඳාගේ උපත සමරන ඒ අසිරිමත් නත්තල උදාවන තෙක් ඔබ බලා හිඳිනබව නොඅනුමානයි.

නමුත් අප අද මුහුණ දී ඉන්නා තත්ත්වය අනුව වෙන කාලවල තරම් උත්සවශ්‍රීයෙන් මේ නත්තල සමරන්නට නො හැකියි. ඒත් පවුලේ සාමාජිකයන් හා විශේෂයෙන් කුඩා දරුවන් වෙනුවෙන් හැකි පමණට හෝ යමක් සැකසිය යුතුයි. ඒ වගේම මේ දිනවල ඔබ ඇසුරු කරන අසල්වැසියන් හා හිතමිතුරන් කිහිපදෙනෙක් වෙනුවෙන් වුවත් පුංචි දෙයක් හෝ දිය හැකි නම් එය සැබෑ නත්තලක් වේවි.

නිවෙසටම වී හිඳීමින් ආරක්ෂාව සපයාගන්නා අතර දූදරුවන් ද වටකරගෙන අද අපි ගෙන එන මේ සරල රස කැවිලි ඔබටත් සකසා ගත හැකියි.

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

ක්‍රිස්මස් ෂුගර් කුකීස්

නත්තල වෙනුවෙන් සකසන රසැති කුකීස් වර්ගයකි. වර්ණවත් නිසා පොඩිත්තනුත් ආස වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කුකීස් සඳහා

බටර් කප් 1 ක්

සීනි කප් 1½ ක්

බිත්තර 2 ක්

වැනිලා තේ හැඳී 2 ක්

පාන් පිටි කප් 3½ ක්

බේකිං පවුඩර් තේ හැඳී 1 ක්

ලුණු තේ හැඳී ½ ක්

 

ග්ලේස්

අයිසිං සඳහා

බටර් ග්‍රෑම් 50 ක්

අයිසිං ෂුගර් ග්‍රෑම් 150 ක්

රතු සහ කොළ පැහැති වර්ණක

සාදන ක්‍රමය

පළමුව බටර් සහ සීනි ක්‍රීම් වනතුරු බීට් කරගන්න. එයට බිත්තර සහ වැනිලා එක් කරගන්න. පිටිවලට බේකිං පවුඩර් මිශ්‍රකර එයත් බටර් මිශ්‍රණයට එක්කර මිශ්‍ර කරගන්න.

සාදාගත් ඩෝ එක ශීතකරණයේ පැයක් තබන්න. පැයකට පසු එළියට ගෙන අඟල් ¼ ක ඝනකමට තුනී කර කැමැති හැඩයකට කපාගන්න. නත්තල් සමය නිසා නත්තලට ආවේණික නත්තල් ගස්, හෝලි කොළ ආදී හැඩයටන්ට කපා ගන්නත් පුළුවන්.

ඉන්පසු සෙල්සියස් අංශක 180 ට පෙර රත් කරන ලද උදුනක විනාඩි 10 ක් 15 ක් බේක් කරගන්න. බේක් වූ කුකීස් දැලක් මත නිවෙන්නට හරින්න.

 

ග්ලේස් අයිසිං හදමු

ග්ලේස් අයිසිං සෑදීම සඳහා බටර් ග්‍රෑම් 50 ගෙන ඩබල් බොයිල් ක්‍රමයට උණු කරගන්න. එයට අයිසිං ෂුගර් ටික ටික එකතුකර මිශ්‍ර කරගන්න. මිශ්‍රණය ඝන වී එන විට එම මිශ්‍රණය කොටස් දෙකකට බෙදා එක කොටසකට කොළ වර්ණකයත් අනෙක් කොටසට රතු වර්ණකයත් එකතු කර හොඳීන් මිශ්‍ර කරගන්න. ඉන්පසු එම මිශ්‍රණය කැමැති ආකාරයට කුකිස් මත වත් කර සරසා ගන්න.

***************

චොකලට් කැරමල් ඊස්ටර් එග්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

උකු කිරි පොඩි ටින් 1 ක්

පොඩි කරගත් බටර් ග්‍රෑම් 60 ක්

ගොල්ඩන් සිරප් තේ හැඳී 2 ක්

කැබලි කොට බැද ගත්

රටකජු ග්‍රෑම් 70 ක්

උණුකරගත් ඩාක් චොකලට් ග්‍රෑම් 185ක්

උණුකරගත් මිල්ක් චොකලට් ග්‍රෑම් 75ක්

 

සාදන ක්‍රමය

සාස්පානක් ගෙන එයට උකු කිරි, බටර් සහ ගෝල්ඩන් සිරප් එකතුකර මධ්‍යම උෂ්ණත්වයක් යටතේ මිශ්‍රකර නටන තෙක් නොකඩවා හැඳීගාන්න. උෂ්ණත්වය අඩුකර මද ගින්නේ තම්බා මිනිත්තු 8-10 ක් හෝ රන් පැහැ වන තෙක් හැඳීගාන්න. රටකජු දමා කලවම් කර සිසිල් වනතෙක් තබන්න.

මිශ්‍රණයෙන් තේ හැන්දක ප්‍රමාණයක් ගෙන බිත්තර හැඩයට රෝල් කර ඝන වන තෙක් ශීතකරණයේ තබන්න. උණුකරගත් ඩාක් සහ මිල්ක් චොකලට් සමඟ බටර් කලවම් කර මිශ්‍රණයක් සකසා ගන්න. බිත්තර හැඩයන් මත එය රටාවකට වත්කර ගන්න. සවිවන තෙක් මඳ වේලාවක් තබා පිළිගන්වන්න.

 

2020/12/02 තරුණි පුවත්පත බලන්න
 

No comments:

Post a Comment