නත්තල සමරන්න රසවත් අතුරුපස

දෙසැම්බර් 16, 2020

ළඟ එන නත්ත්තල වෙනදා මෙන් සිත් සේ නෑදෑ හිත මිතුරන් සමඟ සැමරීමට අපහසු ය. එහෙත් නිවෙසේ සාමාජිකයන් සමඟ නත්තල සමරන්නට රසවත් අතුරුපස දෙකක් අද කනවනම් කමු සමූහයෙන් අප ඔබට ඉදිරිපත් කරනවා. විශේෂයෙන් ම දේශීය ද්‍රව්‍ය යොදා ගනිමින් සකසා ඇති මේ අතුරුපස ඔබේ පවුලේ අයට වෙනස් ම අත්දැකීමක් ගෙන දෙනවාට සැක නැහැ.

 

ගුණදායක හබලපෙති පුඩිං

 

හබලපෙති ඉතාමත් පහසුවෙන් හා අඩු මුදලකින් සපයා ගත හැකි ආහාරයකි. පෝෂ්‍ය ගුණය අතින්ද ඉහළ හබලපෙති විවිධ ක්‍රමවලට සකසා රස විඳින්න හැකියාව ඇති බව බොහෝ දෙනා දන්නේ නැති තරම්.

මේ හබලපෙති පුඩිම ඔබේ නිවෙසේ පුංචි සාදය රසයෙන් මෙන්ම ගුණයෙන් ද පුරවනවා නිසැකයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

හබල පෙති කෝප්ප දෙකයි

(හුණ්ඩු දෙකක ප්‍රමාණය)

සිහින්ව ලියා ගත් හකුරු ග්‍රෑම් 400 ක්

වතුර කෝප්ප 1 1/2 ක්

උකු පොල්කිරි කෝප්ප 2 ක්

දියකිරි කෝප්ප 3 ක්

කරදමුංගු, කුඩු තේ හැඳි 1 1/2 ක්

(කරදමුංගු කරල් 6-7 ක් සිහින්ව

කුඩුකර ගන්න)

කුරුඳු කුඩු පිංචක්

කුඩා ඉඟුරු පෙති 2 ක්

බටර් මේස හැඳි 2 ක්

කජු මද ග්‍රෑම් 25 ක්

වියළි මිදි මේස හැඳි 2 ක්

සීනි මේස හැඳි 4 ක්

දැන් පුඩිම හදමු:

පළමුව සාස්පානක් ගෙන සිහින්ව ලියා ගත් හකුරුවලට වතුර කෝප්ප 1 1/2 දමා හකුරු දිය වන තෙක් උණු කරන්න. හකුරු සම්පූර්ණයෙන් ම දිය වූ පසුව එය වෙනත් බඳුනකට පෙරා පසෙකින් තබන්න.

පිරිසුදු සාස්පානක් ගෙන එයට හබල පෙති කෝප්ප දෙක දමා දියකිරි කෝප්ප 3 දමා මඳ ගින්නේ විනාඩි පහළොවක් විස්සක් හොඳට උකුවන තෙක් පිස ගන්න. ඉන්පසුව පෙරා ගත් හකුරු දියරය මේ හබලපෙති මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න. හබලපෙති සහ හකුරු මිශ්‍රණය හොඳින් උකු වනතෙක් හැඳි ගාන්න. පුඩිං මිශ්‍රණය උකුවන විට එයට උකු පොල් කිරි දමා හොඳින් හැඳි ගාන්න. එයටම කරදමුංගු කුඩු, කරුඳු කුඩු, ඉඟුරු පෙති සහ සීනි මේස හැඳි 4 දමන්න. මිශ්‍රණය හැඳි ගාමින් මඳගින්නේ තබන්න. එය උකු වූ විගස ළිප නිවන්න.

ඉන්පසුව අතුරුපස දමන බඳුන්වලට දමා සිසිල් වෙන්නට තබන්න. කුඩා පෑන් එකක් ළිප තබා බටර් ස්වල්පයක් උණුකර එයට කජු කැබැලි හා වියළි මිදි රන්වන් පැහැ වනතෙක් බැද පුඩිං කප්වල උඩින් දමා සරසා ගන්න.

 

ඉදිරිපත් කිරීම: මොරටුව

නිරාශා ප්‍රනාන්දු

 

2020/12/16 තරුණි පුවත්පත බලන්න

 

විශේෂ ස්තුතිය - කනවනම් කමු සමූහයේ Group Admin  අමල් අත්තනායක මහතාට

 

No comments:

Post a Comment