අලුත් රසයකට රුලං, කෙසෙල් කේක්

දෙසැම්බර් 23, 2020

අන් කවරදාටත් වඩා මේ කාලය කෑම බීම අත්හදා බලන්න බොහෝ දෙනෙක් යොමු වෙලා. අපේ දේ, දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් රස මෙන්ම ගුණයෙන් ද පිරිපුන් විවිධාකාරයේ ආහාර සකසන අපේ මිතුරු මිතුරියන් එකතුවන තැන කනවනම් කමු සමූහයයි. එහි ඉදිරිපත් වන සුවිශේෂී ආහාර වට්ටෝරු අප ඔබ වෙත ද ගෙන එන්නෙමු.

කෙසෙල් කියන්නේ ඉදුණු පසුව වැඩි කාලයක් තබා ගත හැකි පලතුරක් නෙවෙයි. ඒ නිසා ඇතැම් විට කෙසෙල් අපතේ යන අවස්ථා අපේ නිවෙස්වල නැතුවා ම නෙවෙයි.

එහෙත් කෙසෙල් යොදා මෙවැනි කෑමක් පිළියෙල කිරීමෙන් ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමටත් අලුත් රසයක ආහාරයක් රස විඳීමටත් ඔබට පුළුවන්.

මේ සඳහා අවශ්‍ය වන්නේ‍්:

බටර් ග්‍රෑම් 100 ක්

බිත්තර 2 ක්

සීනි කෝප්පයක්

රුලං කෝප්ප ¼ ක්

ඇඹුල් කෙසෙල්ගෙඩි 3 ක්

පාන් පිටි කෝප්පයක්

පොල් තෙල් මේස හැඳී 2 ක්

වැනිලා මේස හැන්දක්

බේකිං පවුඩර් මේස හැන්දක්

දැන් කේක් එක හදමු:

සාමාන්‍ය බටර් කේක් එකක් හදන ලෙසින් ම පළමුවෙන් බටර් හා සීනි එකට දමා හොඳීන් මිශ්‍රකර ගන්න. එයට ම පොල් තෙල් ද එකතුකර බීට් කරන්න. දැන් බිත්තර දෙක වරකට එක බැගින් වෙනත් බඳුනකට කඩා දමා මිශ්‍රණයට එකතු කරන්න. නැවතත් මිශ්‍රණය හොඳීන් බීට් කරගන්න. ඉන් පසුව බීට් කිරීම නවතා පොඩි කරගත් ඇඹුල් කෙසෙල් මෙයට එකතු කරන්න. හැන්දකින් මිශ්‍රණය කලවම් කරන්න.

දැන් මෙයට රුලං එකතු කළ යුතුයි. රුලං එකතු කළ පසුව ද මිශ්‍රණය හැන්දකින් හොඳීන් මිශ්‍ර කරන්න. මෙය හොඳීන් මිශ්‍ර වූ පසුව පාන් පිටි සහ බේකිං පවුඩර් එයට එකතු කරන්න. හොඳීන් කේක් මිශ්‍රණය මිශ්‍රකරගත් පසුව තෙල් කඩදාසියක් දමා බටර් ආලේප කළ තැටියකට මිශ්‍රණය දමා අවන් එකට දමන්න.

අවන් එක අංශක 180 උෂ්ණත්වයට රත්කර ඉන්පසුව මිශ්‍රණය එය තුළට දැමිය යුතුයි. අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 30ක පමණ වේලාවක් බේක් කරගන්න.

මෙය ඉතා සුවඳීන් යුතු රසවත් කේක් එකක් නිසා නිතරම හදන්නත් ඔබට හිතෙනවාට සැකනැහැ.

 

ඉදිරිපත් කිරීම: බත්තරමුල්ලේ

චතුරිකා නදීශානි

 

 

විශේෂ ස්තුතිය - කනවනම් කමු සමූහයේ Group Admin අමල් අත්තනායක මහතාට

No comments:

Post a Comment