නව වසර පිළිගන්න කිරිබත්

දෙසැම්බර් 30, 2020

 

2020 අවසන් වෙමින් 2021 නව වසර ඇරැඹෙනවා.

මේ ඇරැඹෙන නව වසරේ කිරිබතක් සකසා අලුත් අවුරුද්ද පිළිගන්න බලාහිඳින ඔබ වෙනුවෙන් විවධ ක්‍රමයට සකසාගත හැකි කිරිබත් වර්ග මෙන්ම කිරිබත් කෑමට අවශ්‍ය ලුණු මිරිස්, සීනි සම්බෝල ආදිය සකසාගන්නා ආකාරය අප මෙලෙස තිළිණ කරනවා.

මේ කෑම වට්ටෝරු පෙළ ඔබට ලබා දෙන්නේ 'රස ගුණ සමඟ සෙනෙහසින් අපි' සමූහයේ නිර්මාතෘ ජනනී ගුරුසිංහ ඇතුළු ලංකාවේ සහ විදේශයන්හි පදිංචිව හිඳින එහි සාමාජිකාවන් කිහිප දෙනෙකි.

 

ඕලු ඇට මිශ්‍ර කිරිබත්

අවශ්‍ය දේවල්

ඕලු ඇට කප් බාගයක්

රතු කැකුළු හාල් කප් එකයි

සුදු කැකුළු හාල් කප් එකයි

පොල් කිරි අවශ්‍ය තරම්

සාදන ආකාරය

පළමුව ඕලු හොඳීන් ගරා සොදා ගන්න. සිහින් වැලි ඇති නිසා හොඳීන් ගරා වැලි ඉවත් කොට පැය කිහිපයක් පෙඟෙන්න තබන්න. උදේ කිරිබත් හදනවා නම් රාත්‍රියේ පෙඟෙන්න දමන්න.

එය වඩා පහසුයි. රතු සහ සුදු හාල් හොඳීන් සෝදා එයටම ඕලු ඇට ටිකත් එකතු කර අවශ්‍ය ප්‍රමාණයට වතුර එක් කර බත හොඳීන් පිස ගන්න.

පොල් කිරිවලට රස පදමට ලුණු එක්කර එයත් බතට දමා හොඳීන් කූරු ගා පොල් කිරි බතට මුසුවී හිඳෙන තෙක් මඳ ගින්නේ පිස උණුවෙන්ම කෑලි කපන්න.

 

 

 

 

නිල් කටරොළු කිරිබත්

 

 

අවශ්‍ය දේවල්

 

කැකුළු හාල් ග්‍රෑම් 500 ක්

පොල් කිරි මිලිමීටර් 500 ක්

අවශ්‍ය පමණ වතුර

ලුණු ස්වල්පයක්

 

නිල් කටරොළු මල් 15 ක් පමණ

සාදන ආකාරය

 

මුලින්ම කටරොළු මල් ටික හාල් තැම්බෙන්න තරම් අවශ්‍ය උණු වතුරට දමා තැම්බෙන්න හරින්න. විනාඩි 15 ක් පමණ යන විට මල්වල සියලුම පැහැය ජලයට එකතු වී තිබේ. දැන් හාල් ටික හොඳීන් සෝදා අප සකසා ගත් කටරොළු මල් ජලය (මල් පෙරා ඉවත් කර ගත යුතුයි.) හාල් එකට දමන්න. ලුණු ස්වල්පයක් ද එකතුකර හාල් ටික තම්බා ගත යුතුයි. වතුර හිඳී හාල් තැම්බුණු පසු පොල් කිරි එකතුකර කිරි බත පිස ගන්න. දැන් එය කැමැති නම් කැට කපා ගන්න. නැතිනම් මෙහි දැක්වෙන ආකාරයට පිළිගන්වන්න.

 

අරුණි ප්‍රනාන්දු

හලාවත

පෝෂණීය කිරිබතක්

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි බත් සෑදීමට ගන්නා සුදුසු හාල් හුණ්ඩු

එකක්

රැයක් පොඟවා ගත් කඩල ග්‍රෑම් 50 ක්

රැයක් පොඟවා ගත් මුං ඇටග්‍රෑම් 50 ක්

කජු මද පහ හයක්

සුදු තල මේස හැඳී එකක්

කහ පැහැති බතල අලයක් (ග්‍රෑම් 50 ක් පමණ බර)

ලුණු ස්වල්පයක්

රම්පෙ කොළයක්

පොල් කිරි (මිටි කිරි) කෝප්ප 2 ක්

දිය කිරි - බත පිසීමට අවශ්‍ය පරිදි

 

සාදන ක්‍රමය

සියලු ද්‍රව්‍ය හොඳීන් සෝදා පිරිසුදු කර ගන්න. කඩල ටික නෑඹිලියක දමා හෝ සුදුසු භාජනයකට දමා යන්තමට තළා ගන්න. තළා ගත් විට කඩලවල පොතු ඔබට අතින් අයින් කර ගත හැකියි. ඉන්පසු බතල අලය ගෙන සිහින්ව ග්‍රේට් කර ගන්න. තළා ගත් කඩල, බතල, මුං ඇට සහ රම්පෙ සහල් පිසින භාජනයට දමා එයටම සහල් ද එකතුකර ගන්න. මෙයට බත පිසීම සඳහා ගන්නා දියකිරි දමා හැන්දකින් කවලම් කරන්න. සුපුරුදු කිරි බතට මෙන් මෙම අවස්ථාවේ දී ලුණු එක් කරනු නොලැබේ. එයට හේතුව වන්නේ ධාන්‍ය ඇට තැම්බීම සඳහා වේලාව යන බැවිනි. බත මඳක් පිසීගෙන එන අවස්ථාවේ දී තල ඇට, කජු මද සහ ලුණු එක් කර ගත යුතුයි. බත හොඳීන් පිසුණු විට හැන්දක් ගෙන ඇට වර්ග ද හොඳීන් තැම්බී ඇතිදැයි පරික්ෂා කර බලන්න. දැන් මිටි කිරි කෝප්ප දෙක එක් කර හොඳීන් හැඳී ගාමින් ගින්දර මඳ ප්‍රමාණයට ගෙන පියනකින් වසා තබමින් විටින් විට හැඳී ගාමින් කිරි බත පිස ගන්න. සුදුසු තැටියක් ගෙන තැටිය මත ට කිරි බත් මිශ්‍රණය දමා ගන්න. පත්තක් ආධාරයෙන් කිරිබත් අවශ්‍ය ප්‍රමාණයට තුනී කර කෑලි කපා පිළිගන්වන්න.

 

 

බියුටි දිසානායක

මහරගම

 

කිරිබත් සැන්ඩ්විච්

අවශ්‍ය දේවල්

අල ගෙඩි 1 ක් (ග්‍රෑම් 280 ක්)

ලොකු ලූනු ගෙඩි 2

(ග්‍රෑම් 300 ක්)

අමු මිරිස් කරල් 2 ක්

පොඩි ටූනා ටින් 1

කෑලි මිරිස් තේ හැඳි 1 ක්

මිරිස් කුඩු තේ හැඳි ½ ක්

කහ කුඩු තේ හැඳි ¼ ක්

කුරුඳු කුඩු තේ හැඳි ¼ ක්

සිහින්ව කපා ගත් කරපිංචා

රස අනුව ලුණු

දෙහි ඉස්ම ටිකක්

සාදන ආකාරය

අල කුඩාවට කොටස්වලට කපාගන්න. ලූනු සහ අමු මිරිසුත් හීනියට කපා ගන්න. බඳුනක් ළිප තබා තෙල් ටිකක් එකතුකර අල ටික බැදගන්න. එයටම ටූනා එකත් එකතු කරලා බැදගන්න. දැන් ලූනු, අමු මිරිස් එකතුකරලා බැදෙන්න හරින්න..

(පුළුවන් නම් ලූනුත් වෙනම බැද ගන්න. එතකොට රස වැඩියි, තෙල් බොහොම පොඩ්ඩක් වෙන්න දාලා බැදගන්න.)

එයට ලුණු, මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ, කුරුඳූ කුඩු, කරපිංචා එකතු කරන්න. සියල්ල කලවම් කර එහාට මෙහාට කරමින් රන්වන් පාට වනතුරු පිසගන්න. ළිපෙන් ඉවතට ගෙන දෙහි ඉස්ම එකතු කරන්න. රස අනුව මිරිස් අඩු වැඩි කරගන්න. හාල්මැස්සෝ බැද කුඩු කර එකතු කරන්නත් පුළුවන්. උම්බලකඩ එකතු කරන්න. දැන් කිරිබත හදාගන්න.

උණු උණුවෙම කිරිබත් කොටසක් පිඟානට එක්කර අතුරා ඒ මත සාදාගත් අල, ලූනු ව්‍යාංජනය අතුරන්න. දැන් නැවතත් ඊට උඩින් කිරිබත් අතුරන්න. උණු උණුවෙම කෑලි කපා පිළිගන්වන්න. ඔබට පුළුවන් ලස්සන මෝල්ඩ් එකකට මේ විදියට සාදා අනිත් පැත්ත හරවා මේසයට තියන්න.

 

සූපවේදිනී

ජනනී ගුරුසිංහ

පර්මා, ඉතාලිය

 

2020/12/30 තරුණි පුවපත බලන්න

 

No comments:

Post a Comment