දූ දරු උපන් දින වර්ණවත් කරන්න මල් කූඩයයි පූස් යාළුවොයි

අගෝස්තු 28, 2019

 සුරංගනාවයි මාළිගයයි

හයවැනි උපන්දිනය සමරන්නට සූදානම් වන දෝණිට පුංචි සුරංගනාව සිටින ලස්සන රජමාළිගයක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කිලෝ එකහමාරක ප්‍රමාණයට සාදාගත් කේක් දෙකක්

ග්‍රෑම් 500 ක ප්‍රමාණයට සාදාගත් කේක් දෙකක්

බටර් අයිසිං

අයිස්ක්‍රීම් කෝන් තුනක්

වෙළෙඳ පොළෙන් ලබාගත් කුමාරිකාවන් 4ක් කලර් ස්ප්‍රින්ක්ලස් (වෙළෙඳ සල්වලින් ලබාගත හැකියි)

 

සාදන ක්‍රමය

පළමුව කිලෝ 1 1/2 ක ප්‍රමාණයට සාදාගත් කේක් දෙක ගෙන බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු එය බේස්බෝඩ් එක මත තබා සුදු බටර් අයිසිංවලින් කවර් කරගන්න. පසුව නොම්බර 17 නොසලයට රෝස බටර් අයිසිං තබා දොරවල් සහ ජනෙල් අයිසිං කරගන්න.

දැන් නොම්බර 13 නොසලයෙන් දම් පාටින් දොරවල් හා ජනෙල් වටා අවුට් ලයින්කර මැදින් ඉරි ආකාරයට සුදු පාටින් නොම්බර 3 නොසලයෙන් දමන්න. කේක් එක වටේ ඇති බෝඩරය රෝස පාටින් නොම්බර 18 නොසලයෙන් දමන්න. පසුව අයිස්ක්‍රීම් කෝන් තුනක්ගෙන ඡායාරූපයේ පෙනෙන ආකාරයට රඳවන්න. ඉන්පසු නොම්බර 13 නොසලයෙන් දම් පාට බටර් අයිසිංවලින් කෝන් අයිසිං කරගන්න. උඩට නොම්බර 18 නොසලයෙන් රෝස පාටින් මලක් දමන්න.

දැන් කේක් එකේ යටට ග්‍රාස් නොසලයෙන් තණකොළ දමාගන්න. එය මල්වලින් අලංකාරකර ඉදිරිපස දොර ළඟට කලර් ස්පි‍්‍රන්ග්ලස් දමා ගන්න.

අවසානයේ වෙළෙඳ පොළෙන් ගත් කුමාරිකාවන් තබා අලංකාර කරගන්න. උඩට ගැළපෙන ඉලක්කම තබාගන්න.

 

මල් බාස්කට් එක

මල් බාස්කට් එකක සිටින පූස් යාළුවො දෙන්නෙක්. හරිම ලස්සනයි නේද? බලන්න, පුංචි දුවගෙ එහෙමත් නැතිනම් පුතාගෙ උපන් දිනයට හදලා දෙන්නත් මේ වගේ කේක් එකක් ලස්සනයි ද කියලා. ඔයාට ඕනෙනම් පූසො වෙනුවට බාස්කට් එකට කුරුල්ලන්, මල් දමා අලංකාර කරගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

කැමැති වර්ගයකින් සාදාගත් රවුම් හැඩැති කේක් එකක්

වර්ණ කීපයකින් බටර් අයිසිං

ග්‍රෑම් 500 ක ප්‍රමාණයට සාදාගත් කේක් එකක්

ටූත් පින්ක්

ෆොන්ඩන්ට් අයිසිං

සාදන ක්‍රමය

පළමුව කිලෝ එකක ප්‍රමාණයට සාදාගත් කේක් එක ගෙන දෙකට කපා බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න. එය බේස්බෝඩ් එක මත තබා වටේ අයිසිං කරන්න. ඉන්පසු නොම්බර 17 ස්ටාර් නොසල් එක ගෙන කෙළින් අතට ඉරි හැඩයට කේක් එක වටේට දමාගන්න. පසුව එම නොසල් එකෙන්ම ඉරි අතරට බාස්කට් වියමන දමාගන්න. දැන් පූසො දෙන්නා සඳහා ග්‍රෑම් 500 ක ප්‍රමාණයට සාදා ගත් කේක් එකගෙන දෙකට බෙදා වෙන වෙනම කුඩු කරගන්න. පසුව එසේ කුඩු කරගත් කොටස් දෙකට අයිසිං එකතුකර බෝල දෙකක් සාදාගන්න. දැන් එම බෝල දෙක ටූත්පික් මඟින් කේක් එක මත සවිකර ගන්න. දම්පාට සහ කහ පාට අයිසිං ගෙන නොම්බර 18 නොසලයෙන් බෝල දෙක අයිසිං කරන්න. කන්දෙක සඳහා ටූත්පික් දෙකක් තබා ඒ මත නොම්බර 18 නොසල් එකෙන්ම අයිසිං කරගන්න. පසුව නොම්බර 17 නොසලයෙන් රෝස පාටින් නහය තබන්න. නොම්බර 3 නොසලයෙන් කළුපාට යොදා ඇස් සහ කට අයිසිං කරගන්න. රැවුල සඳහා පින්තූරයේ පෙනෙන ආකාරයට ටූත්පික් තබන්න.

බාස්කට් එක සැරසීමට ෆොන්ඩන්ට් හෝ පාච්මන්ට් මල් යොදා අලංකාර කරගන්න. කොළ සඳහා 366 නොසලය භාවිත කරන්න. කේක් එකේ වර්ණ සහ ප්‍රමාණය තමන් කැමැති පරිදි වෙනස් කරගත හැකියි.

 

කේක් නිර්මාණය

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ත්‍යාගි ගමගේ

ඡායා - ශාන් රඹුක්වැල්ල

No comments:

Post a Comment