කාටත් ගුණැති රසයෙන් පිරුණු ඉන්දියන් කෑම

අගෝස්තු 28, 2019

තුන් වේලටම බත් කන්න පුරුදු වෙලා හිටිය, නිරෝගී, ශක්තිමත් ජාතියක් තමයි අතීතයේ අපේ උරුමය වුණේ.

හේනේ, කුඹුරේ, වත්ත පිටියේ වගාකරගත් එළවළුවෙන්, ධාන්‍යයෙන්, පෝෂණය වුණු ඔවුන්ට ඉහෙන් බහින රෝගයක් තිබුණේ නෑ කියලා තමයි අතීතය විපරමින් බලනවිට පෙනෙන්නේ. ඒ ඔවුන් සරල ජීවන රටාවක හිමිකරුවන් වූ නිසාමයි.

වර්තමානය ඊට හාතිපසින්ම වෙනස්. ජීවන රටාව සංකීර්ණ වෙලා. කාර්යබහුලත්වයත් එක්ක හැල්මේ දුවන ජීවිතත් යන්ත්‍ර වගේම වෙලා. හරියට කෑමක් බීමක් හදාගන්නවත් විවේකයක් නැහැ. ඒවා ඉගෙන ගන්න වෙලාවකුත් නැහැ. ඒ නිසාමයි අද බොහෝදෙනා කඩ කෑමවලට හුරුවෙලා රෝගීන් වෙලා තියෙන්නෙත්. කවුරු වුණත් කැමැතියි වෙනස් වෙනස් කෑම ජාති, වෙනස් වෙනස් රසයන්ට කන්න. ඒවා රස වගේම ගුණයෙනුත් අනූන වෙනවානම් තමයි වඩාත්ම සුදුසු.

ඒ නිසාම තමයි අද අපි ඔයාලට රසකාරක කිසිවක් නොදා, රසය, ගුණය මෙන්ම සිරුරට අවශ්‍ය ශක්තිය ලබාදෙන මස්මාංසවලින් තොර ශක්තිජනක මේ කෑම වට්ටෝරු කිහිපය හඳුන්වලා දෙන්න අදහස් කළේ.

ඉන්දියානුවන් වගේම අපේ රටේ දමිළ ජනතාව අතරත් වඩාත් ප්‍රචලිත මේ කෑම කන්න ඔයාලත් ආසවේවි. හදලම කාල බලන්නකෝ.

*******************

තෝසේ

අවශ්‍ය ද්‍රව්‍ය

උළුඳු ග්‍රෑම් 250 ක්

කැකුළු හාල් ග්‍රෑම් 500 ක්

උළුහාල් තේ හැඳි 1/4 ක්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

හාල් හොඳට සෝදා එයට උළු හාල් එක්කර වතුර දමා පෙඟෙන්නට තබන්න.

උළුඳු ටික සෝදා එයට වතුර දමා එය ද පෙඟෙන්නට හරින්න. පොතු සහිත උළුඳු නම් හොඳින් අතුල්ලා කළු පොත්ත ඉවත් කරන්න.

මෙලෙස උළුඳු සහ හාල් වෙන වෙනම පැය 10 ක් පමණ පෙඟෙන්නට හැරිය යුතුයි.

පෙඟුණු හාල් සහ උළුහාල් ග්‍රයින්ඩර් එකක් හෝ ගලක් ආධාරයෙන් සිනිඳු වන සේ හොඳින් අඹරා ගන්න. උළුඳු ටිකත් සිහින් වෙන්නට අඹරා ගන්න. අඹරා ගත් හාල් සහ උළුඳු බඳුනකට දමා වතුර එක්කරමින් තෝසේ මිශ්‍රණය අනාගන්න.

මෙයට රස අනුව ලුණු ටිකක් ද එකතු කරන්න. මෙම මිශ්‍රණය නැවතත් පැය හයක් (6) පමණ පිපෙන්නට හරින්න.

ඉන්පසු මෙම තෝසේ මිශ්‍රණය තෙම්පරාදු කර ගත යුතුයි. ඒ සඳහා තෙල් ටිකක් ළිප තබා එයට ලියාගත් ලූනු, අමුමිරිස්, කරපිංචා දමා එයටම තෝසේ මිශ්‍රණය ද එක්කරන්න.

ඉන්පසුව තෝසේ තැටියෙහි තෙල් ස්වල්පයක් තවරා රත්කරගෙන එයට තෝසේ මිශ්‍රණයෙන් හැන්දක් දමා හැන්දේ පිට පැත්තෙන් අවශ්‍ය ප්‍රමාණයට පැතලි කරගන්න. එක් පැත්තක් තැම්බුණු පසුව අනෙක් පැත්ත හරවා තම්බා ගන්න. උණුසුම ඉවත්වීමට පෙරම සුදුසු බඳුනක දමා කෑම මේසයට තබන්න. මෙය උදේ මෙන්ම රාතී‍්‍ර ආහාර වේලටත් කදිමයි.

No comments:

Post a Comment