හැඩ ගෙනෙන උපන්දින කේක්

මාර්තු 4, 2020

ආදරණීය අම්මාට

 

මවුපියන් හැමදාමත් උත්සාහ කරන්නේ තම දරුවන්ට උපරිම සැප, සතුට ලබාදෙන්නයි. ඒ අතරිනුත් දරුවන් උපන් පළමු අවුරුද්දේ සිටම උපන්දින සමරන්න නම් අමතක කරන්නේ නැහැ. කොතරම් දුප්පත් වුවත් තමන්ට හැකි අයුරින් තම දූදරුවන්ගේ උපන්දින සමරනවා.

ඉතින් අද අපි හිතුවා ආදරයේ ප්‍රතිමුර්තිය වන අම්මාගේ උපන්දිනය වෙනුවෙන් කේක් එකක් නිර්මාණය කළොත් හොඳයි කියලා. දූදරුවන් වෙනුවෙන්ම කැපවී සිටින අම්මාට එයාගෙ උපන්දිනේ අමතක වෙනවත් ඇති. එවන් මොහොතක මේ වගේ කේක් එකක් හදලා අම්මාගේ උපන්දිනේට වටිනාකමක් දෙන්න පුළුවන් නම් ඒ අම්මට කොතරම් සතුටු හිතේවි ද? අම්මා කියන්නේ අපි කරන පුංචි දේකින් පවා සතුටු වන සංවේදී චරිතයක්.

අවශ්‍ය ද්‍රව්‍ය

කිලෝ එකක ප්‍රමාණයේ ඕනෑම වර්ගයේ කේක් එකක්

සුදු පාට බටර් අයිසිං

නො. 18 නොසල් එකක්

නො. 16 නොසල් එකක්

නො. 03 නොසල් එකක්

තද රෝස පාට බටර් අයිසිං

නො. 20 නොසල් එකක්

පාච්මන්ට්වලින් කපා ගත් කුඩා මල්

සාදන ආකාරය

කිලෝ එකක ප්‍රමාණයේ උසට හදවතක හැඩයට පුරවාගෙන බේක් කරගත් ඔබ කැමැති වර්ගයේ කේක් එකක් මේ සඳහා අවශ්‍ය වේ. එහි උඩ හා වටේට සුදු පාට බටර් අයිසිං මෘදුව තවරා ගන්න. ඉන්පසු නො. 18 නොසල් එක ගෙන තරමක් තද රෝස පාට යෙදූ බටර් අයිසිංවලින් කේක් එක වටේ උඩ සිට පහළට ඉරි ආකාරයට දමාගන්න.

ඉන්පසු නො. 16 නොසල් එක භාවිතයෙන් කේක් එකේ යට බෝඩරය ලියවැල් ආකාරයට දමන්න. උඩ බෝඩරයට නො. 18 සහ නො.16 නොසල් යොදාගෙන තරු ආකාරයට දමන්න. නො. 20 නොසල් එකෙන් කේක් එක උඩ ර්ර්‍ණර් අකුරු සකසා ගන්න. පාච්මන්ට්වලින් කපාගත් කුඩා මල්වලින් සහ නො. 03 නොසල් එකෙන් ඩොට් ආකාරයට දමා අලංකාර කරගන්න.

උපදෙස්

ප්‍රවීණ කේක් නිර්මාණ උපදේශිකා

තෙයාගි ගමගේ

 

ඡායා - ශාන් රඹුක්වැල්ල

සටහන - නාමලි ගමගේ

No comments:

Post a Comment