රස වෑහෙන චිකන් කරි එකක්

Image result for chicken curry

ඉතින් මස් හදන්න විශේෂයෙන්ම පාවිච්චි කරන මස් කුඩු එක හදාගන්න හැටි කියලා දුන්න ලොකු නෑනා අපූරු මස් කරියක් හදන හැටිත් කියාදෙන්න අමතක කළේ නැහැ.
"දැන් අක්කේ අපි මස් කුඩු ටික හදාගත්තා කියමුකෝ. ඒ ටික මිශ්‍ර කරලා මස් උයාගන්න හැටිත් කියන්නකෝ."
"හරි නංගි... මම දැන් මේ මස් ටික හදාගන්න හැටි තමයි කියාදෙන්න හදන්නේ. අපි මුලින්ම කරන්නෙ මස් ටික හොඳට සෝදාගන්න එක. ශීතකරණයේ තිබ්බ මස් නම් ටිකක් වෙලා එළියෙන් අරන් තියන්න වෙනවා සීතල යනකම්. ඊට පස්සෙ තමයි සෝදා ගන්න වෙන්නෙ. හැබැයි කඩෙන් ගෙනාව හැටියේම උයන්න ගන්නවා නම් දෙතුන් වරක් සෝදලා ගත්තහම ඇති. අනික මස් ගොඩාක් වතුරේ දාලා සෝදන්නෙ නෑ. එතකොට රස නැහැ කියලයි කියන්නෙ."
"හරි... අපි ඒ විදිහට සෝදපු මස් ටික භාජනයකට දැම්මා කියලා හිතමුකෝ."
"ඔව්... සෝදපු මස් ටික බඳුනකට දමලා ඒකට අර කරි කුඩු දමන්න ඕනේ. දැන් නංගි අපේ ගෙදර නම් හතරපස් දෙනෙක් ඉන්න නිසා මම නම් මස් ග්‍රෑම් 750 ක් විතර උයන්න ගන්නවා. එතකොට මේ කරි කුඩු මේස හැඳි 04 ක් දමනවා. හැබැයි නංගිට ග්‍රෑම් 500 ක් විතර ගත්තහම ඇති. එතකොට මේ කරි කුඩු මේස හැඳි 2 1/2 ක් විතර දමන්න. ලුණුත් දමන්න. ඊට පස්සෙ හොඳට මිශ්‍ර කරලා මස් ටික සීසන් වෙන්න තියන්න."
"කොච්චර වෙලාවක් මෙහෙම තියන්න ඕනේද අක්කේ."
"විනාඩි 20 ක් 30 ක් තිබ්බහම හොඳට පහේ ටික මස්වලට අල්ලගන්නවා. ඔය අතරතුරේ අපිට අනෙක් කළමනා කපාගන්න පුළුවනි.
දැන් පිරිසුදු මැටි ඇතිළියක් ළිපේ තියා පොල්තෙල් මේස හැඳි 02 ක් විතර දමන්න. තෙල් රත්වීගෙන එනවිට තළාගත්තු සුදුලූනු බික් කිහිපයක්, ඉඟුරු ටිකක් දමන්න. ඊට පස්සෙ හීනියට කපාගත්තු ලූනු, අමුමිරිස් ටිකකුත් දමන්න. කරපිංචා කොළත් ඒකටම දමන්න. මේවා රන්වන් පාටට බැදීගෙන එනකොට සීසන් වෙච්ච මස් ටිකත් දමන්න. විනාඩි පහක් විතර මස්ටික තෙම්පරාදු වෙන්න එහාට මෙහාට පෙරළලා වතුර අඬුකෝප්ප 02 ක් විතර එකතුකරන්න. ආ... පොඩි ගොරකා කැබැල්ලක් දමන්නත් අමතක කරන්න එපා.
හැබැයි ඉතිං කරි චිකන් වගේ හයිය මස් වර්ග උයනකොට සියඹලා දාන එක තමයි වඩාත්ම හොඳ. ඒ මොකද කියනවා නම් සියඹලා මඟින් ඒ තද ගතිය නැති කරලා මස්වලට සොෆ්ට් ගතියක් එනවා. ගොරකා දැම්මොත් ටිකක් තද ගතියක් ලැබෙන්නේ."
"කොයිතරම් වෙලාවක් මස් ටික උයාගන්න ඕනේද?"
"මෙහෙමයි... දැන් අපි වතුරත් ටිකක් දමලා මස් ටික කළවම් කරලා හැඳිගාමින් විනාඩි දහයක් විතර උයාගන්නකොට හොද්ද හොඳට නටන්න පටන්ගන්නවා. ඊට පස්සෙ ගින්දර අඩුකරලා මඳ ගින්දරේ තමයි හිඳවාගන්න ඕනේ. තවත් විනාඩි 15 ක් විතර යද්දි හොඳට තෙල් පෑදිලා උකුවට මස් හොද්ද හිඳීගෙන එද්දී ළිපෙන් බාගත්තහම හරි. ඒ වෙලාවට කටට කෙළ උනන හොඳ සුවඳකුත් හමනවා.
"ඔන්න හෙට දෙන්නත් එක්ක සුදුබත් උයලා, මඤ්ඤොක්කා තම්බලා, රතු පාටට පොල් සම්බෝලයකුත් හදලා මේ රස මස් කරියත් හදලම රස බලන්නකෝ."

No comments:

Post a Comment