ගැමි සුවඳට ගැමි රසය මුසුවූ කෑම

ජුනි 16, 2021

 

ඇල් හාලේ සුවඳට මැටි හට්ටියේ ඉදෙන කොයි මාළුවත් හරිම රසයි. සමහරු විනෝද ගමන් යන්නෙම ගමේ කෑමවල රසය හොයාගෙන. පෙරදිග රටවල ජීවත්වන අපි තරම් සංස්කෘතිය, සදාචාරය එක්ක බැඳුණු ජාතියක් තවත් නැතිව ඇති. ඉතිං අපිට ම ආවේණික අපේ ම කෑමවල රස බලන්න කවුද අකැමැති.

නියර දිගේ, වත්ත පහළ වැට මායිමේ ඇවිදගෙන යද්දී මාළුවක් දෙකක් හදාගන්න ඕනෑතරම් ජාති සොයාගන්න පුළුවන්. මේ හැමදෙයක් ම හිතලාම වවලා වතුර දාලා, පොහොර දාලා හදපුවා නොවෙන්න පුළුවන්. එහෙත් ගෙදරදිම වංගෙඩියේ කොටලා, මිරිස් ගලේ අඹරලා හදා ගත්තු තුනපහ ඇතුළු අඩුම කුඩුම ටික යහමින් එක් කරලා හදාගන්න මාළුව දෙක කොයිතරම් රසද? ගුණද? මේවා දරළිපේ, මැටි ඇතිලිවල උයද්දී විහිදෙන සුවඳ... නාස් පුඩු සිසාරා යනවා. මාළු කිව්වේ එළවළුවලට හොඳේ.

සංස්කෘතිය, සදාචාරය එක්ක ගසට පොත්ත මෙන් බැඳුණු අපිට මේ පුංචිම පුංචි රටේ වුණත් පළාත් 9 න් දිස්ත්‍රික්ක 25 න් ඒ ඒ පැතිවලට ආවේණිත වුණ ආහාරපාන හොයාගන්න පුළුවන්. ඉතිං එළවළු ව්‍යංජනයට වුණත් එළවළුක් නොකියා මාළුවක් කියන අය අපි අතරේ ඉන්නවා. මේ අයගෙන් වෑහෙන්නේ ගැමි සුවඳ. ඔවුන් අතින් ඉදෙන මාළුවක සුවඳ බත්පත දිග හැරෙද්දිම දැනෙනවා.

අද අපිත් එක්ක තරුණී 'රසාර' සමඟින් එකතුවෙන්නේ විශ්‍රාමික ගුරු උපදේශිකාවක්. මාතර කඹුරුපිටියේ උපන් ඇය ගෘහ ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරු උපදේශිකාවක්. දකුණේ ඇතුළු පාසල් කිහිපයකම දියණිවරුන්ට ගෘහ ආර්ථික විද්‍යාව ඉගැන්වූ ඇය හැමවිටම ආහාරවල පෝෂණය රැක ගනිමින්, ලෙඩ රෝගවලින් මිදී නීරෝගි ජීවිතයක් ගත කරන්නට, වැඩි වැඩියෙන් අප අතරින් ගිලිහී යන කෑම පිළියෙල කිරීම සම්බන්ධයෙන් උනන්දු වන තැනැත්තියක්. 'කුස්සිය' Cuisine of Sri Lanka ඔස්සේ සමීපවන ඇය 'තරුණී' සමඟින් ද මෙලෙස සමීප කරගත්තෙමු.

 

ඉදිරිපත් කිරීම

විශ්‍රාමික ගෘහ ආර්ථික විද්‍යා ගුරු උපදේශිකා

ප්‍රේමාවතී අබේසේකර

විශේෂ ස්තුතිය

මාලන් ඕපනායක  මහතාට

 

 කොහිල දලු මැල්ලුම ගමේ ආරෙට හදමු

පිහියක් අරන් ගිහින් කොහිල දලු ටිකක් කඩාන ඇවිත් කොහිල දලු මාළුවක් හදන්නේ හරිම තෘප්තිමත්ව.

මොකද හොඳට ම දන්නවා මේවාවල වස විස නැහැ කියලා. මේ ඔක්කොමත් එක්ක ගැමි අම්මාගේ අතේ පදමට හැදෙන කොහිල දලු මැල්ලුම මොනතරම් රසවත්ද?

 

අවශ්‍යවෙන්නේ

කොළ ඉහිරුණු

කොහිල දලු මිටක්

ගාගත් පොල් අවශ්‍ය

පමණට

අමුමිරිස් හෝ කොච්චි

කරල් 3, 4 ක්

රතුලූනු ගෙඩි 2, 3 ක්

කහ ස්වල්පයක්

ලුණු අවශ්‍ය පමණ

 

සාදන ක්‍රමය

තමන්ගෙම වත්තෙන්ම කඩාගත්ත ගමන් කොහිල ටික සෝදා ගන්න. කොහිල දලු මිටියේ කටු පිහියෙන් සූරාගෙන නැවතත් හොඳට සෝදා ගන්න.

හොඳ හැටියට ගින්දර දැමූ දරළිපක් උඩ මැටි හට්ටියක් තියාගෙන හදන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

හැබැයි ඉතිං දැන් ගෑස් වළං තියෙන නිසා නවීන මුළුතැන්ගෙවල්වල ගෑස් ළිපේ වුණත් පදමට උයාගන්න බැරිකමක් නැහැ.

මැටි ඇතිළිය රත්වුණාට පස්සේ කපාගත්ත කොහිල දලු ටික දාලා පොල්කටු හැන්දෙන් එහා මෙහා කරගන්න.

අමුමිරිස් හෝ කොච්චි කරල් හීනියට ලියාගෙන එකතු කරගන්න. පුංචි ඈයෝ කෑමට නැත්නම් ඉතිං කොච්චි දැම්මොත් තමයි රස. රම්පෙ කරපිංචා, කහ, රස අනුව ලුණු, ගම්මිරිස් මේවා එකින් එක විටින් විට යොදන්න. එක වර්ගයක් දාන ගානේ හැන්දෙන් කලවම් කරගන්න. ඔක්කොම එකට කලවම් කරනවට වඩා මෙහෙම කරද්දි කොහිල දලුවලට මේ හැමදෙයක් ම හොඳින් උරාගන්නවා.

අන්තිමටම එකතු කරන්නේ පොල්.

සිසිල් ගතිය, සීනි පාලනය කිරීම, අර්ශස් රෝගීන්ට මේ කොහිල දලු මැල්ලුම ඉතාම ගුණදායක එකක් වේවි.

 

 

-----------------------------

කෑම මේසයට වෙනස්ම රසයක් ගෙනෙන බිලිං චට්නි

 

බිලිං ගහේ කඳ පුරාම ගෙඩි හැදිලා තියෙද්දී දැක්කහමත් ආසයි. එහෙම දකිද්දි එක සැරේ ම හීල්ලුනත් අනේ ඇස්වහ නම් වදින්න එපා කියලා හිතෙන් කියවෙනවාමයි.

බිලිං කියද්දි දත් ටිකම ඇඹුල් වෙලා යද්දි බිලිං වලින් හදපු චට්නියක් කිව්වොත් නම් එහෙම වෙන එක්ක නෑ නේද?

මේ ගෙදරට වෙලා ඉන්න ගෘහණියන්ට කෑම මේසයට වෙනසක් එක් කරන්න හොඳම අවස්ථාවක්. කල්තබා ගන්නත් හැකි නිසා මේ දිනවල වඩාත් ප්‍රයෝජනවත් වේවි.

 

මේ සඳහා අවශ්‍ය වෙන්නේ

බිලිං ගෙඩි 15 ක් පමණ (හොඳින් ඉදුණු)

සීනි ග්‍රෑම් 100 ක්

මිරිස් කුඩු අවශ්‍ය පමණ

සුදුලූනු බික් හතරක් පහක්

විනාකිරි බෝතල් 1/4 ක්

ලුණු ස්වල්පයක්

අබ තේ හැන්දක්

අමු ඉඟුරු කැබැල්ලක්

 

මෙහෙම හදමු

පුංචි බේසමකට කඩාගත්තු බිලිං ගෙඩි දමා හෝදා ගන්න. ටික ගමේ අම්මලා නම් කොරහට දාලා සෝදගෙනම යි කුස්සියට ගේන්නේ. බිලිං ටිකක් කඩා ගනිද්දි වත්ත පහළ ඉඟුරු ටිකක් වවලා තියේ නම් හාරලා පොඩි ඉඟුරු අලයකුත් ගලවගෙනම එන්න අමතක කරන්න එපා.

බිලිං ටික රවුම් හැඩයට පෙති කපලා තියාගන්න.

අමු ඉඟුරුයි, සුදුලූනුයි වංගෙඩියේ දාලා පේස්ට් එකක් වනතුරුම හොඳට කොටාගෙන පැත්තකින් තියන්න. දැන් මැටි ඇතිලියක් ළිපේ තියලා (දර ළිපේ නම් පංකාදු පහට තියේවි) තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත්වෙද්දි ඉඟුරු සුදුලුනු ගුලිය එකතු කරන්න. හිතාගන්න පුළුවන්ද ඉඟුරු, සුදුලූනු ගුලිය තෙලට දැම්මම රන්වන් පැහැ වනතුරු බැදෙද්දී විහිදෙන සුවඳ ගැන. පොල්කටු හැන්දක් අරන් හොඳට කලවම් කරගන්න. දැන් එකතු කරන්නේ විනාකිරි. විනාකිරිත් එක්ක දැන් ඉඟුරු, සුදුලූනු ගුලිය සුවඳ විහිදුවමින් පිසෙනවා. මේ අතරට රස අනුව ලුණු, මිරිස් කරල් සෝදලා වේළලා කොට ගත්තු මිරිස් කුඩු එකතු කරනවා.

මේ දේවල් පිසෙන්නේ විනාකිරිවල. විනාඩි කිහිපයක් ගත වේද්දි විනාකිරි මිශ්‍රණය තරමක් ඝණ වෙලා. දැන් මේකට කපාගත්තු බිලිං ටික දාලා මැටි ඇතිලියකින් වහලා තියන්න.

විනාඩි කිහිපයකින් ඇරලා පොල්කටු හැන්දෙන් හොඳට කලවම් කරගන්න. දැන් ඔන්න බිලිං චට්නිය ළිපෙන් බා ගන්න පුළුවන්.

නිවුණාම වියළි පිරිසුදු හැන්දකින් බෝතලයකට දාලා සති ගණනාවක් ම වුණත් තියාගෙන කන්න පුළුවන්.

දවල්ට, රෑට මේ ඕනෑම වෙලාවක බත් ටිකක් කද්දි බිලිං චට්නි ටිකක් දාගෙන කනකොට කෑමවල ප්‍රියතාව වුණත් ඇතිවෙනවා.

 

---------------------------------

යක්ෂ කුලේ ඇත්තෝ කාපු පොල්කටුවේ පිට්ටුව

කෙහෙල් කොළයක රස වෑහෙන කිරි හොද්දක් එක්ක කෝම්පිට්ටුවක රසබලන්න තියේ නම්.... මේ වරප්‍රසාදය හැමෝටම නම් ලැබෙන එකක් නැහැ.

ගමේ කෑමක් විදිහට හරිම සෞඛ්‍ය සම්පන්න ආහාරයක් නිසා කට වහරට කිව්වේ යක්ෂ කුලේ ඇත්තෝ කාපු පොල් කටුවේ පිට්ටුව කියලා.

 

මේ සඳහා අවශ්‍ය වෙන්නේ

කුරක්කන් පිටි ග්‍රෑම් 50 ක්

හාල් පිටි ග්‍රෑම් 50 ක්

පොල් ගෙඩි 1/2 ක පොල්

කැරට් ග්‍රෑම් 25 ක්

දඹල ග්‍රෑම් 25 ක්

අවශ්‍ය පමණ ලුණු

 

කෝම්පිට්ටුව හදන්නයි යන්නේ.

වත්තේ පිටියේ දඹල වැලෙන් දඹල කරලක්, දෙකක්, කෙහෙල් කොළයක් එහෙම කඩාගෙනම ඇවිත් වැඩේ පටන් ගනිමු නේද?

කැරට්, දඹල දෙකම වෙන වෙනම හීනියට කපාගෙන තියාගන්න.

කෝම්පිට්ටුව හදන්නයි යන්නේ

වත්තේ පිටියේ දඹල වැලෙන් දඹල කරලක්, දෙකක්, කෙහෙල් කොළයක් එහෙම කඩාගෙනම ඇවිත් වැඩේ පටන් ගනිමු

නේද?

කැරට්, දඹල දෙකම වෙන වෙනම හීනියට කපාගෙන තියාගන්න.කුරක්කන් පිටි,හාල් පිටි අවශ්‍ය පමණ තෙල්,ලුණු ස්වල්පයක් එක්කර වතුර ඉසිමින් හොඳින් ගොලගැට කරන්න. හොඳින් ගොල ගැට වූ පසු කැරට්,දඹල එක්කර නැවත ගොලගැට කරන්න.

කඩවැස්ම බඳින ලද හට්ටියකට වතුර දමා හොඳින් වතුර නටන විට පොල්කටුවේ පොල්තෙල් ස්වල්පයක් ගා ඉහත කී මිශ්‍රණය දමා තද නොකර කෙසෙල් කොළයක් තබා අනෙක් පැත්ත හරවාගෙන කඩවැස්ම මත තබා හොඳින් තම්බන්න.

තැම්බී ඇත්දැයි පරීක්ෂා කිරීමට සිදුරු තුළින් පොල්කිරි ස්වල්පයක් දමා තම්බා ගන්න.

-------------------

නිර්මාංස බත්පතක තිබිය යුතුම බිම්මල් ව්‍යාංජනය

නිර්මාංස ආහාර ගන්නා අයගේ බත්පතට හොඳ රසයක් වගේම පෝෂණ ගුණයක් ගෙන දෙන බිම්මල් ව්‍යාංජනය හරි අපුරුවට පිළියෙල කරගන්නයි මේ සූදානම.

 

අවශ්‍ය දෑ

බිම්මල් ග්‍රෑම් 250 ක්

මිරිස් කුඩු මේස හැඳි 2 ක්

රටලූනු ග්‍රෑම් 10 ක්

බැදපු තුනපහ මේස හැඳි එකක්

අමුමිරිස් කරල් 3, 4 ක්

උම්ලකඩ කුඩු (අවශ්‍ය නම් පමණක්)

රම්පේ, කරපිංචා, උළුහාල්

අවශ්‍ය පමණ

පොල්තෙල් අවශ්‍ය පමණ

කහ මිශ්‍ර මිටිකිරි අවශ්‍ය තරමට

රස අනුව ලුණු

 

සාදන ක්‍රමය

ආහාරයට ගැනීමට සුදුසු බිම්මල් ඕනෑම වර්ගයක් මේ සඳහා ගන්න පුළුවන්. පළමුව බිම්මල් හොඳින් සෝදා වතුර බේරෙන්න තියන්න. බිම්මල් කෑලිවලට ඉරා ගන්න.

සිහින්ව ඉරාගත් බිම්මල් ටික පැත්තකින් තියලා මැටි මුට්ටියක් ළිප මත තබාගන්න. එයට පොල් තෙල් ටිකක් දමා හොඳින් රත් වූ පසු ඉඟුරු, සුදුලූනු එකතු කරන්න.

මේවා රන්වන් පැහැයට හැරෙද්දී උම්බලකඩ ටිකක් දමා හැඳි ගා ගන්න. රම්පේ, කරපිංචා, ලූනු, අමුමිරිස්, වියළි මිරිස්, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, කුරුඳු කෑල්ලක් දමා බැදුණු පසු බිම්මල් ටික එකතු කරන්න.

පොල් කටු හැන්දකින් බිම්මල් ටික ඒ මේ අත පෙරළා ගන්න.

මේ වෙලාවේ ළිපේ ගින්දර තිබිය යුත්තේ මඳ වශයෙන්. මඳ ගින්නේ ඉදෙන බිම්මල් ටිකට කහ මිශ්‍ර මිටිකිරි ටිකක් දමා නැවත මඳගින්නේ පිසගන්න. රස අනුව ලුණු එකතු කර ආහාරයට ගන්න.

හතු කෑමට ගත්තාට ඒවායේ ගුණය ගැන ඔබ දන්නවාද?.

ප්‍රතිශක්තීකරණ බලය හතුවල ඉතාම ඉහළයි. කොරෝනා වසංගතය පැතිරයන මෙවන් වකවානුවක හතු කෑම හරිම වැදගත්. ඒ වගේමයි අධිරුධිර පීඩනය මඟ හරවන්න, හෘදයාබාධ, පිළිකා සෛල මැඬලන්න හතුවලට ඇත්තේ සුවිශේෂි ගුණයක්.

 

------------------------

වස විස වලින් තොර කෙහෙල් මුව තෙම්පරාදුව

කෝවිඩ් තත්ත්වයයි, ගංවතුර තත්ත්වයයි නිසා කෑම්බීම් ගැන වෙනදාට වඩා හිතන්න වෙලා. ඉතිං කෙසෙල් පඳුරකින් කෙහෙල් මුවක් කඩාගෙනම ඇවිත් ගමේ විදිහට පිළියෙල කරලා කෑවොත්... වස විස නම් කොහෙත් ම නැති බව ඉඳුරා ම කියන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

තරමක කෙහෙල් මුවක්

පොල් තෙල්

දික් අතට සිහින්ව කපාගත්

ඉඟුරු, සුදුලූනු

වියළි මිරිස් කරල් දෙක තුනක්

නයි මිරිස් හෝ අමුමිරිස්

බී ලූනු

සීනි ස්වල්පයක්

කුරුඳු පොත්තක්

ගම්බිරිස් කුඩු

 

සාදන ක්‍රමය

මුලින් ම කරන්නේ මතුපිටින් ම තිබෙන මෝරපු ලෙලි ටික ඉවත් කරන එක.

කෙහෙල්මුව උයන්න ගනිද්දි ඇඹුල්, සුවඳැල්, කෝලිකුට්ටු වගේ ගොඩක් ම හොඳයි. දැන් හොඳට හෝදලා කෙහෙල්මුව එක දෙකට පලා ගන්න. මැද්දෙන් තියෙන තරමක තද කෙටස කපලා ඉවත් කරලා ඉතිරි ටික සිහින්ව ලියාගන්න. බී ලූනු, මිරිස් කරල් හෝ නයි මිරිස් සිහින්ව ලියාගන්න.

දැන් තෙල් ටිකක් ළිපේ තියාගෙන කරපිංචා, රම්පේ, කුරුඳු පොතු කැබැල්ලක්, රටලූනු, සුදුලූනු, නයි මිරිස් හෝ අමුමිරිස් දාලා සිහින්ව ලියාගත් කෙහෙල්මුව ටිකෙන් ටික එකතු කරන්න.

වේළුණු මිරිස් කරල් කෑලිවලට කඩලා ගම්මිරිස් එහෙම එකතු කරන්නේ දැන්.

මේ වෙද්දි හොඳ සුවඳක් එහෙම දැනෙන්න පටන් ගන්නවා. රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු, සීනි, මේ දේවල් එකින් එක එකතු කරන්න ඕන.

එක දෙයක් එකතු කරලා හොඳින් මිශ්‍රකරගෙන ඊළඟ දේ එකතු කරන්න. මඳ ගින්දරේ පිස ගැනීමත් වැදගත්.

මැටි මුට්ටිය දර ළිපේ තියාගෙන මේ දේ කරනවා නම් ගැමි රසය, ගැමි සුවඳ අවට සිසාරා යන බව නම් නොකියාම බැහැ.

තෙලෙන් තෙම්පරාදු වුණු කෙහෙල් මුව කෙහෙල් කොළයකම තියලා පිළිගන්වද්දි හරිම නැවුම් බවක් දැනේවි.

--------------------

 පෙර නොවිඳි රසයකට අන්නාසි සීනි සම්බෝල

 

දිවගට ඉමිහිරි රසයක් ගෙනෙදෙන අන්නාසිවලින් අන්නාසි සීනි සම්බෝලයක් ගමේ තාලයට පිළියෙල කරන්නයි මේ සූදානම. මින් පෙර නොවිඳි රසයකින් යුතු මේ ආහාර වට්ටෝරුව නම් ඔන්න ඔබේ අතින් පිළියෙල වනවා ඇත්තමයි.

 

අවශ්‍ය දෑ

තරමක අන්නාසි ගෙඩියක්

දුඹුරු සීනි ග්‍රෑම් 100 ක්

කෑලි මිරිස් ග්‍රෑම් 50 ක්

ගම්මිරිස් ග්‍රෑම් 15 ක් පමණ

රම්පේ, කරපිංචා

රටලූනු

කුරුඳු

තලාගත් ඉඟුරු, සුදුලූනු

රස අනුව ලුණු

පොල්තෙල් ස්වල්පයක්

 

සාදන ක්‍රමය

මේ නම් මැටි ඇතිලියක පිළියෙල කරගත යුතුම කෑමක්. හැබැයි ඉතිං දරළිපක හදන්න තියේ නම් පංකාදු පහයි.

එහෙනම් මුලින්ම අන්නාසි ගෙඩිය පොතු ඉවත් කර සෝදලා කෑලිවලට කපාගන්න. මැටි වළඳක් ළිප තබා තෙල් ස්වල්පයක් දමන්න. තෙල් ටික රත්වීගෙන එද්දී තලාගත්තු සුදුලූනු, ඉඟුරු දාලා පොල්කටු හැන්දකින් හොඳින් එහා මෙහා කරගන්න. මෙය රන්වන් පැහැ වනතෙක් බැදුණු පසු එයට රම්පේ, කරපිංචා, කුරුඳු එකතුකර හොඳින් හැඳිගාන්න.

එකක් ගානේ හැඳිගාන තරමට සුවඳයි, රසයයි වෑහෙන්න ගන්නවා. දැන් එකතු කරන්නේ කෑලි මිරිස් හා රටලූනු. එයටම ගම්මිරිස් කුඩු හා ලුණු එකතු කරමින් හොඳින් කලවම් කරන්න. සීනි එකතුකරන්නේ මේ අවස්ථාවේදි. ඒත් එක්කම අන්නාසි කැබැලි ටිකත් එකතු කරන්න. නැවතත් හොඳින් කලවම් කරගෙන වතුර ගතිය හිදෙනතුරු මඳ ගින්නේ පිස ගන්න. ළිපෙන් බාගත් පසු නිවෙන්නට තබා බෝතලයක ඇසිරීමෙන් කල්තබා ගන්නත් පුළුවන්. අමුත්තන් එන විශේෂ අවස්ථාවක් නම් අන්නාසි ගෙඩිය මැද කොටස සීනි සම්බෝලයට අරන් පොත්ත සමඟ ඇති කොටස භාජනයක් මෙන් ගෙන එයට ම අන්නාසි සීනි සම්බෝල දමා පිළිගන්වන්න පුළුවන්.

 

---------------------------

ගුණ දන්නෝ ගන්නා මුරුංගා කොළ මැල්ලුම

අඟුරු අතරට දමා පුලුස්සා ගත් බඩ ඉඟුරු කරලක රසය විඳ ගැනීම ඇසීමට පවා මිහිරක්. විනෝද ගමන් යන එන විට නම් අතරමකදී වුවත් පිළියෙලෙ කරගත හැකි හරිම අපූරු කෑමක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

බඩ ඉරිඟු කරල් 2 ක්

(අවශ්‍ය පමණට වැඩිකර ගන්න

නයි මිරිස් කරල් 3, 4 ක්

රතුලූනු ගෙඩි දෙක තුනක්

ගම්මිරිස් අවශ්‍ය පමණ

බටර් ස්වල්පයක්

රස අනුව ලුණු

දෙහි යුෂ

සාදන ක්‍රමය

බඩ ඉරිඟු කරල් හොඳින් පිරිසුදු කරගන්න. ගම්මිරිස් ඇට, රතුලූනු, නයිමිරිස්, ලුණු හොඳින් කොටා ගන්න. එයට බටර් සහ දෙහි යුෂ ද එකතු කරන්න. උණ කූරක් සකසා ගෙන එය බඩ ඉරිඟු කරල් මැද්දෙන් යවා ඉහත මිශ්‍රණය බඩ ඉරිඟු කරල වටේට හොඳින් තවරා ගන්න. ගිනිමැලයක් ගසා පැත්ත හරවමින් බඩ ඉරිඟු කරල පුලුස්සා ගන්න. ගිණි මැලය නිවුණු පසු ඉරිඟු කරල ඊයම් කොළයක ඔතා අඟුරු අතරට දමා පුලුස්සා ගන්න.

මෙය පෝෂණ ගුණයෙන් යුතු ඉතා රසවත් ආහාරයකි.

 

--------------------

 

පෝෂණ ගුණයෙන් ඉහළ බඩ ඉරිඟු පිලිස්සීම

වැට අයිනේ වැවිලා තිබුණු එතරම්ම නොසලකා හැරිය ගසක බලමහිමය දැන් කොයි කා හටත් වැටහිලා. නිදන්ගත රෝගවලින් පීඩා විඳින පිරිස දිනෙන් දින වැඩිවද්දියි අපේ දේ ගැන මනා වැටහීමක් ලැබෙන්න පටන් ගෙන තියෙන්නේ.

ගුණ දන්නා අය මුරුංගා කොළ මැල්ලුම නම් නොවැරදීම කෑමවලට එක්කර ගනියි.

අරුම පුදුම ගසක් ලෙස හඳුන්වන මුරුංගා කොළ පෝෂණීය ගුණය අතින් අද්විතීය වූවක්.

අවශ්‍ය වන්නේ

මුරුංගා කොළ

රතු ලූනු හෝ රටලූනු

කරපිංචා

කහ

ලුණු

ගාගත් පොල්

දෙහි ඇඹුල්

සාදන ක්‍රමය

ඉති පිටින්ම මුරුංගා කොළ ටික හොඳින් සෝදා ගන්න. වතුර බේරෙන්නට තබා කොළ ටික එකින් එකට සූරාගන්න. සිහින්ව ලියාගත් රටලූනු හෝ රතුලුනු, අමුමිරිස්, කරපිංචා, ලුණු, කහ ස්වල්පයක්,  ගාගත් පොල් එකතුකර අතින් හොඳින් අනා ගන්න. මැටි ඇතිලියක් ළිප තබා මුරුංගා කොළ මැල්ලුම ඊට එක්කර හොඳින් කලවම් කරගන්න. ළිපෙන් බා දෙහි ඇඹුල් ටිකක් යහමින් එකතු කර කෑමට ගන්න. මුරුංගා කොළ පිහියක් ගෙන සිහින්ව කැපීම වෙනුවට අතින්ම කඩා දැමීම ප්‍රමාණවත්.

No comments:

Post a Comment