හෝටලයක රස මසවුළු ගෙදරදී ම හදා ගන්න..

සැප්තැම්බර් 30, 2020

අද බොහෝ දෙනෙක් විශේෂ අවස්ථාවක් සැමරීම සඳහා හෝටලයකට යාමට පුරුදු වී සිටිති. එහෙත් පසුගිය නිරෝධායන සමයේ දී උපන්දිනයක්, විවාහ සංවත්සරයක් වැනි දෙයක් නිවෙසේ සාමාජිකයන් හා සැමරීමටවත් එවැනි ස්ථානයකට යාමට නොහැකිව නිවෙසට ම කොටු වීමට සිදු වුණා. එවැනි විටෙක රසවත් ලෙස ආහාර සැකසිය හැකි ගෘහණියන් නිවෙසේ දී ම පුංචි පුංචි සාද නිවැසියන් සමඟ පැවැත්වූවා.

අද අපි ඔබට ඉදිරිපත් කරන මේ කෑම වට්ටෝරු හෝටලයකට නොගොස් හෝටලයක මෙන් රසවත් ලෙස සකසා ගැනීමට ඔබට මඟ පෙන්වාවි.

නිවැසියන් පුදුම කරවන රසවත් කෑම මේසයකට මෙන්ම නිවෙසට විශේෂිත අමුත්තන් කිහිපදෙනෙක් පැමිණෙන දිනයක දී වුවත් මෙවැනි ආහාර පානාදියෙන් සංග්‍රහ කිරීමෙන් ඔවුන් සතුටු කිරීමට ඔබට පුළුවන්.

එමෙන්ම ඔබගේ සූපවේදී හැකියාවෙන් පවුලේ සාමාජිකයන් පුදුම කිරීමටත්, සැමියාගේ සිතේ ඔබ ගැන වැඩි වටිනාකමක් ලබා ගැනීමටත් අවස්ථාවක් ලබා දෙනවාට සැක නැහැ.

 

උපදෙස් සූපවේදිනී

චාමලී මදනායක

 

දාහය නිවන්න රසවත් සරුවත් එකක්

 

රස්නය වැඩියෙන් දැනෙන දවසට වැඩියෙන් බීම වර්ග බොන්න කවුරුත් පෙලඹෙනවා. විශේෂයෙන් එවැනි දිනෙක නිවෙසට පැමිණෙන අමුත්තකුට සංග්‍රහ කිරීම සඳහාත් මෙවැනි සරුවත් එකක් ඔබට යොදා ගත හැකියි.

දිව පිනවන සරුවත් එක ඇස පිනවන ආකාරයෙන් පිළිගැන්විය හැකි නම් එය රස විඳින්නාගේ ඇස, දිව, සිත පිනවීමට සමත් වේ.

සරුවත් බීමවලට කැමැත්තක් දක්වන ඔබට රසවත් සරුවත් බීම එකක් සකසා ගන්නා ආකාරය අද අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

මේ සඳහා අවශ්‍ය වන්නේ:

සීනි කෝප්පයක්

වතුර කෝප්ප භාගයක්

රෝස එසන්ස් තේ හැන්දක්

රතු පැහැති කලරින් ස්වල්පයක්

කස කසා ඇට

අයිස් කැට

දැන් සරුවත් එක හදමු:

මුලින් ම සීනි සිරප් එක සාදා ගනිමු. බඳුනක් ළිප තබා වතුර දමා බඳුනේ මැදට වන්නට සීනි ටික දමා මඳ ගින්නේ තබන්න. සීනි ටික ටික දියවෙන විට එහි මැද පමණක් යන්තමින් හැඳි ගාන්න. එය වටේ හැඳිගෑම හෝ වැඩියෙන් හැඳිගෑම සුදුසු නොවේ. මන්ද සීනි කැට ඉතිරි වුවහොත් සිරප් එක හොඳින් සකසා ගත නොහැකිය. සීනි දිය වී බුබුලු දමා නටන විට රතු පැහැති කලරිං බිංදු කිහිපයක් එයට දමා හැඳි ගාන්න. එම මිශ්‍රණය හොඳින් උතුරන විට ළිප නිවන්න. සිරප් එක ද එලෙසින් ම නිවෙන්නට හරින්න. ඉන්පසු පියනක් සහිත පිරිසුදු වීදුරු කප් එකකට මේ සිරප් එක දමා ශීතකරණයට දමා අවශ්‍ය වේලාවට සරුවත් සාදා ගැනීමට භාවිත කළ හැකියි.

දැන් කස කසා ඇට වතුර ස්වල්පයක් දමා පෙඟෙන්නට තබන්න. සිසිල් කළ ජලය ගෙන එයට අයිස් කැට ද දමා සිරප් එකෙන් ස්වල්පයක් දමා හොඳින් දිය කරන්න. දැන් රස බලා සිරප් මදි නම් තව එකතු කරන්න.

වීදුරුවක් ගෙන එයට පෙඟුණ කස කසා ඇට දමා හදාගත් සරුවත් එක වීදුරුවට දමන්න. කැමැති නම් වැනිලා අයිස් ක්‍රීම් ටිකක් දමා ක්‍රීම් සරුවත් ලෙසින් ද මෙය සකසා ගත හැකියි. ඔබ කැමැති ආකාරයට මෙය සරසා අමුත්තන්ට පිළිගන්වන්න.

ඉතිරි වූ සරුවත් සිරප් ටික ශීතකරණයේ දමා අවශ්‍ය වේලාවට සරුවත් සකසා ගන්න. මේ දක්වා ඇති ප්‍රමාණවලින් සාමාන්‍යයෙන් වීදුරු 8-10 ත් අතර ප්‍රමාණයක් සකසා ගත හැකියි.

2020/09/30 තරුණි පුවපත බලන්න

No comments:

Post a Comment