කේක් හැඩ කරන අයිසිං වර්ග

ජූලි 15, 2020

කේක් එකක රස වගේම පෙනුමත් හරිම වැදගත්. ඉතින් ඒ පෙනුම ලැබෙන්නේ අයිසිං මල්වලින්. විවිධ හැඩයට විවිධ පාටට හදාගන්න මේ අයිසිං මල් නිසා කේක් එකට වටිනා පෙනුමක් ගෙන දෙනවා.

අද බොහෝ දෙනෙක් කේක් හදන්න දන්නවා වුණත් ඒක ලස්සනට හැඩ කරන්න දන්නෙ නම් අඩු පිරිසක්. ඒ නිසා මේ අයිසිං කලාව මුල සිට ඔබ වෙත ගෙන එන්නට අප තීරණය කළා.

ඒ අනුව ගිය සතියේ දී අයිසිං මල් කලාව සඳහා යොදා ගන්නා උපකරණ හඳුන්වා දුන් අතර අද මල් සාදා ගැනීමේදී යොදා ගන්නා අයිසිං වර්ග මොනවාදැයි විමසා බලමු.

බටර් අයිසිං

බටර් කේක් එකක් අයිසිංකර ගැනීමේදී බටර් අයිසිං අවශ්‍යම වෙනවා. ඒ වගේම කේක් එකට වැඩි රසයක් ලබා දෙන්නෙත් බටර් අයිසිං මඟිනුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 200 ක්

අයිසිං සීනි ග්‍රෑම් 500 ක්

වැනිලා තේ හැඳී 2 ක්

එසන්ස් වර්ගයක්

සාදන ආකාරය

පළමුව බටර් හොඳීන් ගසා ගන්න. එයට අයිසිං සීනි ටික ටික එකතුකරන්න. ඉන්පසු වැනිලා සහ එසන්ස් එකතුකරන්න. ඔබට මෙය වර්ණ ගැන්වීමට අවශ්‍ය නම් කලරිං ස්වල්පයක් එකතුකර බීට් කරගන්න. කේක් එක කවර් කිරීමට මෙලෙසින් සාදා ගත් බටර් අයිසිං භාවිත කරන අතර මල් සාදා ගැනීම සඳහා යොදන අයිසිං සීනි ප්‍රමාණය වැඩිකර ගත යුතුය. එය ඔසවන විට කන්දක් සේ උඩට එසවේ නම් එමඟින් මල් සාදා ගත හැකියි. සරසා ගැනීමට පෙර කේක් එක හොඳීන් සිසිල් වී තිබිය යුතුයි.

 

රෝයල් අයිසිං

කේක් ආකෘති නිර්මාණය කරගැනීමේදී වගේම පුඩිං වර්ග සහ පේස්ට්‍රි වර්ග සාදා ගැනීමේදීත් රෝයල් අයිසිං අවශ්‍යම වෙනවා.

මේ සඳහා අවශ්‍ය වන්නේ

බිත්තර සුදු මදයක්

අයිසිං සීනි කෝප්ප 2½- 3 ක්

සාදන ආකාරය

දැන් මුලින්ම අයිසිං සීනි ගෙන තෙවරක් හලාගන්න. ඉන්පසු බිත්තර සුදු මදය හොඳීන් ගසාගන්න. එයට අයිසිං සීනි ටික ටික දමමින් නැවතත් ගසන්න. රසය වැඩිකර ගැනීම සඳහා වැනිලා එක් කරන්න. හැන්දකින් ඉහළට ගත්විට උඩට ඉස්සී ඇත්නම් එය මෙහි පදමයි. මෙය සුළං නොවදින සේ බඳුනකට දමා වසා තබන්න.

ෆොන්ඩන්ඩ් අයිසිං

ෆොන්ඩන්ඩ් අයිසිං යොදාගනු ලබන්නේ කේක් එක ආවරණය කර ගැනීමටයි. ඒ වගේම කේක් එකට මනා නිමාවක් ලැබෙන්නේත් ෆොන්ඩන්ඩ් අයිසිං මඟින්. කේක් ආකෘති නිර්මාණය කරගැනීමේදීත් මල් සාදා ගැනීමේදීත් මෙය අවශ්‍යම වෙනවා. දැන් අපි බලමු මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

ජෙලටින් මේස හැඳී 2 ක්

වතුර මේස හැඳී 9 ක්

ලික්විඩ් ග්ලූකෝස් මේස හැඳී 3 ක්

ග්ලිසරින් මේස හැඳී 3 ක්

සාදන ආකාරය

පළමුව ජෙලටින් වතුර මේස හැඳී 9ට දමා දියකරගෙන ඩබල් බොයිල් කරගන්න.ඉන්පසු එයට ලික්විඩ් ග්ලූකෝස් සහ ග්ලිසරින් එකතුකරන්න. දැන් අයිසිං සීනි අවශ්‍ය පමණට දමා අතේ නොඇලෙන ප්‍රමාණයට මිශ්‍රණය සාදා ගන්න. දැන් ලෑල්ලක් මත තුනීකර අවශ්‍ය ලෙස මල් සාදා ගන්න.

පාච්මන්ට් අයිසිං

උපන් දින කේක්වලට වගේම කේක් ආකෘතිවලටත් වැඩි අලංකාරයක් ලබාදෙන්නට එහි ඇති මල් වර්ග සහ සත්ත්ව රූපවලට පුළුවන්. ඒවා නිර්මාණය කරන්නෙ පාච්මන්ට් අයිසිංවලින් කියලා ඔබ දන්නවද? දැන් අපි පාච්මන්ට් අයිසිං හදන්න ඉගෙන ගනිමු.

මේ සඳහා අවශ්‍ය වන්නේ

ජෙලටින් මේසහැඳී 1 ක්

උණුවතුර මේසහැඳී 4½ ක්

අයිසිං සීනි අවශ්‍ය පමණ

 

සාදන ආකාරය

මුලින්ම ජෙලටින් මේස හැන්දට උණුවතුර දමා දියකරගන්න.

දැන් එය ඩබල් බොයිල් කරගන්න. ඉන්පසු එම ද්‍රාවණයට අයිසිං සීනි එකතුකර අතේ නොඇලෙන ආකාරයට සාදා ගන්න. මෙයට අවශ්‍ය වර්ණක යොදා ගත හැකියි. දැන් ඔබට අවශ්‍ය හැඩයකට විසිතුරු මල්, සත්ත්ව රූප, ගස් නිර්මාණය කරගන්න පුළුවන්. ඒවගේම මෙය සුළං නොවදිනසේ තබා ගන්නත් අමතක කරන්න එපා.

තයිලෝ පේස්ට්

අයිසිං මල් හදනවිට තයිලෝ පේස්ට් එකත් අවශ්‍යමයි. දැන් අපි බලමු මේ තයිලෝ පේස්ට්එක හදන්නෙ කොහොමද කියලා.

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

තයිලෝ තේ හැඳී 1ක්

බිත්තර සුදු මදයක්

අයිසිං අවශ්‍ය පමණ

සාදන ක්‍රමය

මුලින්ම බිත්තර සුදු මදයට හලාගත් අයිසිං සීනි එකතුකර බීට් කරගන්න. මෙම මිශ්‍රණය මඳක් ඝනව කන්දක් ආකාරයට උඩට එසවී ආ විට එයට තයිලෝ එකතුකර හොඳීන් මිශ්‍රකරගන්න. ඉන්පසු එයට අයිසිං සීනි එකතුකර අනාගන්න. මෙයට අයිසිං වැඩිකර නොගත යුතුය. එසේ වුවහොත් මල් පිපිරීමට හෝ ඉරිතැලීමට ලක්විය හැකියි.ඔබ සාදා ගත් අයිසිං එක මතුපිටින් ඇඟිල්ලෙන් එබූවිට ගිලීයාමක් වැනි ස්වභාවයක් දැනෙයි නම් අවශ්‍ය ආකාරයට මල් පෙති සාදා ගැනීමට හැකිවෙයි. මල් පෙති අග තුනීවට හැඩගන්වන විට පෙතිවල බිඳීයාමක් කැඩීමක් ඇති නොවන සේ නිමකර ගන්නට ද එහි නිවැරැදි පදම තිබිය යුතුයි. තයිලෝ පේස්ට් එකෙන් සාදා ගත් මල්, හොඳීන් වියළි ගතිය ඇති කාඩ්බෝඩ් පෙට්ටි තුළ කඩදාසි දමා එහි මල් අසුරා ශීතකරණයේ තබා ගැනීමෙන් අවශ්‍ය කාලයක් මල් කල් තබා ගත හැකියි. නැතහොත් වායුසමනය කළ කාමරයක සුළං නොවදින සේ අසුරා තබා ගන්න. එසේත් නොමැතිනම් වොට් 200 බල්බයක් යෙදූ පෙට්ටියක තබා උණුසුම්කර තැබීමෙන් ද මල් අවශ්‍ය කාලයක් තබා ගත හැකියි.

 

 

උපදෙස් ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

ප්‍රදීකා විජේසූරිය

 

 

2020/07/15 තරුණි පුවත්පත බලන්න.

 

No comments:

Post a Comment