රසයෙන් පිරි සී ෆුඩ්

ජූලි 8, 2020

ආහාර වර්ග ගැන කතා කරන විට කාගෙත් වැඩි කැමැත්ත මුහුදු ආහාර වර්ගවලට. ඒ ඒවායේ රසවත් බව වගේම විවිධ ආකාරයට සකසා ගත හැකි නිසයි. සී ෆුඩ් ගැන කියන විටම කාටත් මතක් වන්නේ මාළු, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවන්ගේන් සකසන ලද ආහාර වර්ගයි. මේ ආහාර එදිනෙදා සාමන්‍ය ආහාර වේලට වගේම විශේෂ අවස්ථාවන්වලදී අමුත්තන්ට පිළිගන්වන්නත් කදිමයි.

නමුත් බොහෝ ගෘහණියන් මස් මාළු රසට හදන්න බැහැ කියලා මැසිවිලි නඟනවා. මෙවැනි ආහාර වර්ග උයන පිහන විදිහ වහේම ඒවාට එකතු කරන කළමනාත් එකිනෙකට වෙනස්. ඒ විතරක් නෙවෙයි මාළු කපන විදිහ, ශුද්ධ කරන විදිහත් වෙනස්. නියම විදිහට කපලා, පිරිසුදු කරලා අරගෙන නියමිත කළමනා ටික දාලා ගත්තොත් තමයි නියම රසය මතු වෙන්නේ. ඒ නිසා ඒ ගැනත් අවබෝධයෙන් කෑම ටික පිසගත්තොත් රසවත් ආහාර වේලක රස බලන්න පුළුවන්.

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

**************************

ෆිෂ් කේක්

 

රසවත් කෙටි ආහාරයකි. තේ බොන වෙලාවට වගේම උදෑසන ආහාරයටත් කදිමයි. පාසල් යන දරුවන්ගේ කෑම පෙට්ටිය සරසන්නත් ෆිෂ් කේක් යොදා ගන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

තෝර මළු හෝ පරා මාළු ග්‍රෑම් 350ක්

බිත්තර සුදු මද 2ක්

ඉඟුරු තේ හැඳී 2ක්

කොත්තමල්ලි කොළ මේස හැඳී 2ක්

හාල් පිටි මේස හැඳී 3ක්

ලුණු තේ හැඳී 1ක්

ගම්මිරිස් කෑලි තේ හැඳී 1ක්

කුඩාවට කපාගත් සුදුලූනූ බික් 2ක්

 

සාදන ක්‍රමය

මාළු කුඩා කෑලි කපා ගන්න. එයට ඉඟුරු, සුදුලූනූ, කොත්තමල්ලි කොළ එකතුකර අඹරාගන්න. බිත්තර සුදු මද දෙක වෙනම ගසා ගන්න. ඉන්පසු අඹරා සකස්කර ගත් මිශ්‍රණයට බිත්තර සුදු මද, ගම්මිරිස්, හාල් පිටි සහ ලුණු එකතුකර නැවත මිශ්‍රකර ගන්න.

අත්ලට පිටි ටිකක් දවටා මේ මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා මදක් තුනී කර ගන්න. ඉන්පසු පෑන් එකක් ළිපතබා තෙල් ටිකක් දමා දෙපැත්තම බැද ගන්න. උණු උණුවෙම පිළිගන්වන්න. මේ ආහාරය සෝස් වර්ගයක් සමඟ මිශ්‍රකර ආහාරය ගැනීම වඩාත් රසවත්.

 

 

 

2020/07/08 තරුණි පුවත්පත බලන්න.

No comments:

Post a Comment