ගෙදරදීම පාන් හදමු

අප්‍රේල් 22, 2020

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි සූපවේදිනී

ජනනී ගුරුසිංහ

පෝරණු පාන්, අවන් පාන්, තැටි පාන්, රෝස්ට් පාන් ආදී වශයෙන් පාන් වර්ග කිහිපයක්ම අපට රස විඳින්න හැකියාව තිබෙනවා.

හැබැයි ඉතින් මේ මොන පාන් වර්ගය වුණත් වෙළෙඳපොළෙන් තමයි මිලදී ගන්න වෙන්නේ. පෙති පාන් නම් හදලා දවස් කිහිපයකට පස්සෙ තමයි ආහාරයට ලැබෙන්නෙත්.

ඉතින් ඔන්න අද ඔයාලාට රසට, ගුණට, ගෙදරදීම පාන් හදාගෙන උණු උණුවෙන්ම රස බලන්න පුළුවනි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ ග්‍රෑම් 01 ක්

ඊස්ට් ග්‍රෑම් 14 ක්

කිරි කෝප්ප 1 12/ ක්

මඳ උණුසුම් ජලය කෝප්ප 02 ක්

රස අනුව ලුණු

සීනි තේ හැඳි 04 ක්

තැවරීමට කැමැති

තෙල් වර්ගයක්

සාදන ක්‍රමය

 පළමුව ජලය කෝප්ප 1/2කට ඊස්ට් සහ සීනි එකතුකර විනාඩි කිහිපයක් තබන්න.

 අනතුරුව පිටිවලට රස අනුව ලුණු, කළින් සාදාගත් ඊස්ට් මිශ්‍රණය සහ කිරි එකතු කරන්න.

මෙයටම තෙල් මේස හැන්දක් ද එකතු කරන්න.

 දැන් ටික ටික මඳ උණුසුම් ජලය එකතුකරමින් හොඳින් පිටි ටික අනාගන්න.

 ඒ අතරේ තව තෙල් මේස හැන්දක් එකතුකරන්න.

 ජලය කෝප්ප දෙකම එක සැරේ දමන්න එපා. ටික ටික දමමින් පදම එනතුරු අනන්න. අතේ නොඇලෙන පදමට.

 දැන් තවත් තෙල් මේස හැන්දක් එකතු කරන්න.

 පදම එනතුරු නැවතත් අනන්න.

 අනාගත් පිටි මෝලිය පැයක් පිපෙන්නට තබන්න.

දෙගුණයක් තරමට පිපුණු පසුව මේ පිටි මෝලිය කොටස් දෙකකට වෙන් කරන්න.

 එක කොටසකින් ඔබට තැටි පාන් ගෙඩි 04 ක් සැකසිය හැකි අතර අනෙක් කොටසින් පොඩි රෝස්ට් පාන් 06 ක් පමණ සැකසිය හැකියි. නැතිනම් සම්පූර්ණයෙන්ම තැටි පාන් පමණක් සකසා ගත හැකියි.

 වෙන් කරගත් පිටි ගුලි තුනීකර (පාන්වල හැඩයට) බ්‍රෂ් එකක ආධාරයෙන් හොඳින් තෙල් තවරාගන්න.

 දැන් පුලුස්සා ගැනීමට පහසුවන පරිදි සෑම පාන් ගෙඩියක් අතරටම ෆොයිල් තබන්න.

 තවත් පැය 1/2 ක් හෝ පැයක් පිපෙන්නට තබන්න.

සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයට උදුන රත් කරගෙන විනාඩි 30 ක් පමණ පාන් බේක් කරගන්න.

(පිටි තැම්බෙනකම් වාගේ.)

 දැන් පාන් එළියට ගෙන එකිනෙක වෙන් කරගන්න.

 නැවතත් එකින් එකට තෙල් තවරාගන්න.

වෙන වෙනම අතුරා රන්වන් පාට වනතුරා පුලුස්සා ගන්න.

ඒ පැත්ත මේ පැත්ත හරවමින්. මෙහිදී අවන් එකේ උඩ සහ යට දෙකම රත් වෙන්න දමන්න.

 සාමාන්‍යයෙන් ඊස්ට් ක්‍රියාකාරීත්වය නිසි ආකාරයට සිදුවන්නේ නම් ජලය කෝප්ප 1/2 දෙගුණයක් ලෙස පිපේ.

සෑම වේලාවේම මඳ උණුසුම් ජලය මේ සඳහා යොදා ගතයුතු අතර උණුසුම් හෝ ශීත ජලය යෙදුවහොත් ඊස්ට් නිසියාකාරව ක්‍රියාකාරී නොවේවි.

----------------------------------

 

සවස තේ වෙලාවට ඩිනර් බන්ස්

කිරි සහ බටර් හොඳට මිශ්‍ර කරලා හරිම මෘදුවට හදන ඩිනර් බනිස් තමයි මේ තියෙන්නෙ. සවස තේ වෙලාවට උණු උණු ඩිනර් බන්ස් එක්ක රසවත් කිරි කෝප්පයක් ලැබුණොත් පුංචි පැටවු එපා කියන එකක් නැහැ.

පොඩි පැටවුන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ප්ලේන්ටියක් සමඟ රස බලන්න මේ ඩිනර් බන්ස් හරිම අපූරුයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 500 ක්

කිරි කෝප්ප 3/4 ක්

බටර් මේස හැඳි 04 ක්

ලුණු තේ හැඳි 01 ක්

සීනි මේස හැඳි 05 ක්

ඊස්ට් ග්‍රෑම් 07 ක්

මඳ උණුසුම් ජලය කෝප්ප 1/4 ක්

උඩින් දැවටීමට බටර් ස්වල්පයක් සහ බ්‍රෂ් එකක්

 

සාදන ක්‍රමය

 පළමුව සීනි හැඳි 05 න් එක් හැන්දක් සහ ඊස්ට්, මඳ උණුසුම් ජලය කෝප්ප 1/4 සමඟ දියකරගන්න. මෙය විනාඩි තුනක් පමණ පසෙකින් තබන්න.

 දැන් වෙනත් බඳුනක් ගෙන එයට පාන් පිටි, බටර්, ලුණු, ඉතිරි සීනි සහ කලින් සකසාගත් ඊස්ට් මිශ්‍රණය ද දමා සියල්ල හොඳින් කලවම් කරන්න.

 අනතුරුව මේ මිශ්‍රණයට කිරි ද ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන පදම එනතුරු අනන්න. මෙය මෘදු මෝලියක් වනතුරු අනාගතයුතු අතර කිරි මදි වාගේ හැඟේනම් තව ටිකක් එකතු කරන්න.

 

 මෙලෙස අනාගත් පිටි මෝලිය තබා ඇති බඳුන පිරිසුදු රෙදි කැබැල්ලකින් වසා පැයක් පිපෙන්නට තබන්න.

 පැයකට පසුව පිටි මෝලිය ගෙන සමාන කොටස්වලට වෙන් කරගන්න.

 දැන් ඒ එක කොටසක් ගෙන බෝල කරන්න. (ඕවල් හැඩය එන පරිදි) අනතුරුව එය රෝල් කර, ඒ රෝල හරි මැදින් දෙකට කපන්න.

 අවන් එකක තැබිය හැකි ට්‍රේ එකක් ගෙන ඒ හදාගත් කොටස් (කැපූ පැත්ත යටට සිටින සේ) මලක හැඩය එන ලෙස තබන්න. ටික වේලාවක් ගතවනවිට මේවා පිපෙන බැවින් එකිනෙක අතරේ ඉඩ තබන්නට අමතක කරන්න එපා.

 ඉන්පසු තවත් විනාඩි 30 ක් පමණ මෙය තියෙන්නට හරින්න. එවිට එම කොටස් තවත් ටිකක් පිපී එකිනෙකට ළං වේවි. එසේ වී නැත්නම් විනාඩි 40 ක් පමණ තබන්න.

 අනතුරුව බ්‍රෂ් එකක ආධාරයෙන් උඩින් බටර් දවටන්න.

සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් විනාඩි 20 ක් බේක් කරගන්න.

No comments:

Post a Comment