ගෙදර පුංචි බේකරියක්

අප්‍රේල් 22, 2020

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි සූපවේදිනී

ජනනී ගුරුසිංහ

පිරිසුදුවට පාන්, බනිස් අපිම හදමු

 

දිවා ආහාරය කෙසේ වෙතත් උදෑසනට වාගේම රාත්‍රියට පාන්, බනිස්, ඉඳිආප්ප වාගේ දෙයක් ආහාරයට ගන්නයි අපේ වැඩිදෙනකු හුරුවී සිටින්නේ. විශේෂයෙන්ම පාන්, බනිස් වාගේ බේකරි නිෂ්පාදන නම් කඩෙන් හෝ බේකරියකින් මිලදී ගන්නා නමුදු ඒවායේ ගුණාත්මකබව පිළිබඳ නම් සෑහීමකට පත්විය නොහැකියි.

මන්ද මේ බේකරි නිෂ්පාදන සඳහා භාවිතකරන ඊස්ට්, රසකාරක ආදිය නියමිත ප්‍රමාණවලට වඩා වැඩියෙන් භාවිත කිරීම මත විවිධ අපහසුතාවලට මුහුණදීමට බොහෝ විට සිදුවේ. එබැවින් කටට රසට වාගේම පිරිසුදුවට, ගුණාත්මක බවින් ඉහළ පාන්, බනිස් වාගේ දෙයක් මිලදී ගැනීම නම් තරමක් අසීරුයි. ඒ නිසාම මේවාගේ බේකරි කෑම වර්ග කිහිපයක් ගෙදරදීම සකසා ගන්නා ආකාරය ඔබට කියාදෙන්නට අපි අදහස් කළෙමු.

විශේෂයෙන්ම විවේකී සති අන්තයේ පවුලේ සාමාජිකයන් හැමෝම එකතුවෙලා රසවත්ව මේවා හදන්න පුළුවනි. ඒ විතරක් නෙමෙයි කට්ටියටම උණු උණුවෙන්ම රස බලන්නත් පුළුවනි.

-------------------------

 

පුංචි පැටවුන්ට කිඹුලා බනිස්

සීනි කැට කර කර ගා රසට හැපෙන උණු උණු කිඹුලා බනිස් කන්න කවුද අකැමැති.

විශේෂයෙන්ම කට දැවිල්ලට අකැමැති පුංචි පැටවුන් සීනි තැවරුණු කිඹුලා බනිසකට බොහොමත්ම කැමැති වේවි. එහෙමනම් මේ විදිහට අපි ගෙදරදීම කිඹුලා බනිස් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි ග්‍රෑම් 350 ක්

ඊස්ට් ග්‍රෑම් 05 ක්

කිරි කෝප්ප 1/2 ක්

බටර් මේස හැඳි 02 ක්

සීනි ග්‍රෑම් 50 ක්

බිත්තර 01 ක්

ලුණු ස්වල්පයක්

මඳ උණුසුම් ජලය

සාදන ක්‍රමය

 පළමුව මඳ උණුසුම් ජලය කෝප්ප 1/2 ක් ගෙන එයට ඊස්ට් සහ සීනි තේ හැඳි 02 ක් මිශ්‍ර කරන්න. දැන් මෙය විනාඩි කිහිපයක් පසෙකින් තබන්න.

 ඉන්පසුව බඳුනක් ගෙන එයට පාන්පිටි, ඉතිරි සීනි, ලුණු, බිත්තරය, කිරි, බටර් දමන්න. අනතුරුව පසෙකින් තැබූ ඊස්ට් මිශ්‍රණය එකතු කරමින් අනාගන්න. මදිපාඩුවට මඳ උණුසුම් ජලය ටික ටික එකතු කරන්න.

 අතේ නොඇලෙන පදම එනතුරා මෙය අනාගතයුතු අතර හොඳින් අනාගත්විට අතට මෘදු ස්වභාවයක් දැනේවි.

 දැන් මේ පිටි මිශ්‍රණය පැයක් තියෙන්නට හරින්න.

 පැයකට පසුව දෙගුණයක් තරමට පිපෙන ආකාරය ඔබට දැකිය හැකියි.

 අනතුරුව පිපුණු පිටි මෝලිය හොඳින් තුනීකර ත්‍රිකෝණ හැඩයට කපා රෝල් කරගන්න.

 නැවතත් විනාඩි 30 ක් තබන්න.

 බ්‍රෂ් එකක් ගෙන බනිස් මතුපිට බටර් තවරා උඩින් සීනි ඉසින්න.

සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට සකසාගත් උදුනක දමා රන්වන් පැහැය වෙනතෙක් බේක් කරගන්න.

------------------------

 

රසට, පිරිසුදුවට ගෙදරදීම මාළුපාන්

 

කෙටි බඩගින්නකට මාළු පාන් එකක් කාලා තේ කෝප්පයක් බොන්න තමයි ගොඩාක්දෙනා කැමැති. ඒත් ඉතින් රසවත්ව පිරිසුදුවට හදපු උණු උණු මාළු පාන් ගෙඩියක් හැමෝටම රසවිඳින්න ලැබෙන්නේ නම් නෑ.

ඒ හින්දා නිවාඩු සති අන්තයේ මේ විදිහට ගෙදරදීම මාළු පාන් හදලා රස විඳින්නකෝ.

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් පිටි කිලෝ ග්‍රෑම් 01 ක්

ඊස්ට් ග්‍රෑම් 14 ක්

සීනි තේ හැඳි 02 ක්

බිත්තර 02 ක්

බටර් ග්‍රෑම් 100 ක්

කිරි කෝප්ප 1/2 ක්

රස අනුව ලුණු

මඳ උණුසුම් ජලය

 

සාදන ක්‍රමය

 පළමුව මඳ උණුසුම් ජලය කෝප්ප 1/2 ක් ගෙන එයට ඊස්ට් ග්‍රෑම් 14 ක් සහ සීනි තේ හැඳි දෙක දමා දියකරන්න. විනාඩි 05 ක් ගතවද්දී ඊස්ට් හොඳට පෙණදමා ඇති ආකාරය ඔබට දැකගත හැකිය.

 දැන් පිටි සමඟ ලුණු, දියකරගත් බටර්, බිත්තර, කිරි බඳුනකට දමා පෙණ නංවාගත් ඊස්ට් මිශ්‍ර ජලය ටිකෙන් ටික එකතු කරමින් අතේ නොඇලෙන පදම එනතුරා අනාගන්න.

 පිටි මෝලිය පදමට ආ විට අතට මෘදු ස්වභාවයක් දැනේවි.

 මේ පිටි මෝලිය පැයක් පිපෙන්නට තැබූ විට දෙගුණයක ප්‍රමාණයක් ලැබේවි.

 

 මේ අතරතුරේ මාළු පාන් පිරවුම සාදා නිවෙන්නට හරින්න.

 ඉන්පසුව පිටි මෝලියෙන් කුඩා බෝල වෙන් කරගන්න. මෙම වෙන් කරගත් පිටි බෝල ඉඩකඩ සහිත තැටියක් මත තබන්න. (මන්ද ඒවාද පිපෙන බැවිනි).

 දැන් වෙන් කරගත් පිටි බෝලයක් ගෙන මඳක් තුනීකර පිරවුම ඒ මත තබා මාළු පාන් හැඩයට නවාගන්න.

 සාදාගත් මාළු පාන් මත බ්‍රෂ් එකක් ආධාරයෙන් බිත්තර සාරු දවටාගන්න.

 අනතුරුව සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයට උදුන රත්කර රන්වන් පාට වනතුරා බේක් කරගන්න.

 

 

 

 

පිරවුම හදමු

 

අවශ්‍ය ද්‍රව්‍ය

අර්තාපල් ග්‍රෑම් 400 ක්

සැමන් ග්‍රෑම් 300 ක්

ලොකු ලූනු ගෙඩියක්

කැරට් ග්‍රෑම් 100 ක්

සුදුලූනු බික් දෙකක්

ලික්ස් (කොළපාට කොටසින්)

ග්‍රෑම් 75 ක්

අමු මිරිස් කරල් 02 ක්

රස අනුව ලුණු

කෑලි මිරිස්, ගම්මිරිස්, මිරිස් කුඩු, කහ,

කුරුඳු (මේ සියල්ල

රස අනුව ස්වල්ප වශයෙන් ගන්න.)

සිහින්ව කපාගත් කරපිංචා ටිකක්

පොල්තෙල් ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 මුලින්ම අල තම්බා පොතු ඉවත් කරන්න.

 කැරට්, ලීක්ස්, ලූනු, සුදුලූනු, අමුමිරිස් සිහින්ව කපාගන්න.

 සුදුසු බඳුනක් ළිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කරන්න. තෙල් රත්වීගෙන එනවිට සුදුලූනු, ලූනු, කරපිංචා එයට දමන්න. අනතුරුව කැරට්, ලීක්ස්, අමුමිරිස් ද එකතුකර මඳක් බැදෙන්නට හරින්න.

 එයටම කෑලි මිරිස්, මිරිස් කුඩු, කහ, ලුණු, කුරුඳු පොත්තක්, ගම්මිරිස් එකතුකර මඳ වේලාවක් පිසගන්න.

 අනතුරුව සැමන් ද එකතුකර තෙලෙන් මඳක් බැඳෙන්නට හැර තම්බා පොඩි කරගත් අල ද කලවම් කරන්න. මඳ වේලාවකින් ළිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හරින්න.

No comments:

Post a Comment