දරුවන්ට පෝෂණය සපිරි සලාද

ජනවාරි 22, 2020

දුවපැන ඇවිදන වයසේ පසුවන පුංචි දරුවන්, පාසල් යන පුංචි දරුවන්, විවිධ ක්‍රීඩා කුසලතාවන් දක්වන දරුවන්ගේ ආහාරවේල් පිළිබඳ අපට සුළුකොට තකන්න බැහැ. ඔවුන්ගේ ආහාරවල පෝෂණ ගුණය උපරිමයෙන් තිබිය යුතුමයි.

මවුකිරෙන් ආරම්භයේ දී මනා පෝෂණයක් ලද දරුවා අනතුරුව මවුකිරි හා අමතර ආහාර සමඟින් පෝෂණය ලබයි. දිනෙන් දින වැඩෙත්ම සෞඛ්‍ය සම්පන්න නිවැරැදි ආහාර රටාවක් කෙරෙහි හුරුකරවීම මව, පියා ඇතුළු දරුවා රැකබලා ගන්නා අයගේ වගකීමකි.

දරුවන්ගේ සෑම ආහාර වේලකම ධාන්‍ය හා පිටි සහිත ආහාර, පලතුරු, මස්, මාළු, බිත්තර, පියළි ඇට වර්ග, කිරි හෝ කිරි ආහාර, එළවළු ආදිය යම් යම් ප්‍රමාණයන්ගෙන් තිබිය යුතුය.

ක්‍රීඩා කරන දරුවන්ගේ පෝෂණය ගැන මාපියන්ට ආවාට ගියාට සිතන්නට බැහැ. එහි සියලු පෝෂණ කොටස් තිබිය යුතුමයි. එහි ප්‍රධාන ආහාරවේල් මෙන්ම කෙටි ආහාර වේල් ද ඇතුළත් වේ.

මෙවර තරුණී ‘රසාර’ වෙන්වනුයේ දරුවන් පි‍්‍රයකරන, දරුවන්ගේ පෝෂණයටම මුල්තැන දෙමින් පිළියෙල කරන සලාද වර්ග කිහිපයක් සඳහායි. මින් පෙර විවිධ සලාද වර්ග ඔබට තිළිණ කර තිබුණත් දරුවන්ට විශේෂයෙන්ම ක්‍රීඩාව කෙරෙහි උපන්හපන්කම් ඇති දරුවන් සඳහාම වූ මෙම සලාද වර්ග ඔබට නැවුම් බවක් ගෙන දේවි.

 

අලිගැටපේර සලාදයක්

 

අලිගැටපේර මේදය යහමින් අඩංගු පලතුරක්. ඉතින් පලතුරක් ලෙස රස වින්දත් සලාදයක් ලෙස රස විඳීම තරමක් ආගන්තුක වෙන්න පුළුවන්.

විවිධ රසයන්ගෙන් යුතු සලාද වර්ග පි‍්‍රයකරන දරුවාට මෙය සාදා දෙන්න.

 

අවශ්‍ය ද්‍රව්‍ය

අලිගැටපේර ගෙඩි 1 ක්

සලාද කොළ ග්‍රෑම් 200 ක්

කුඩා තක්කාලි ගෙඩියක්

ලුණු කුඩු රස අනූව

පිපිඤ්ඤා කුඩා ගෙඩියක් (ග්‍රෑම් 150 ක පමණ)

බී ලූනු ගෙඩියක් (ග්‍රෑම් 50ක්)

ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

ලෙමන් යුෂ මේස හැඳි 1 ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4 ක්

 

සාදා ගන්නා අන්දම

පිපිඤ්ඤා ගෙඩිය දෙපැත්තෙන් කපා තිත්ත අයින්කර පොතු හැර ගන්න. අලිගැටපේර මදය, සලාද කොළ, පිපිඤ්ඤා ගෙඩිය පොඩි කොටස්වලට කපාගන්න. ලූනු සහ තක්කාලි පොඩියට කපාගන්න. මේ සියල්ල ඔලිව් තෙල්, ලෙමන්, ගම්මිරිස් කුඩු, ලුණු එකතුකර කලවම් කරගන්න.

 

 

ඉදිරිපත් කිරීම

ඉතාලියේ පර්මාහි පදිංචි

සූපවේදිනි

ජනනි ගුරුසිංහ

 

2020/01/22 තරුණි බලන්න

No comments:

Post a Comment