තෛපොංගල් දිනයේ ඉන්දියන් කෑම රස විඳිමු

ජනවාරි 15, 2020

හින්දු සංස්කෘතිය හා ආගම වඩාත්ම ව්‍යාප්තව ඇත්තේ භාරතයේ වුවත් හින්දු ජනතාව මුළු ලෝකය පුරාම වෙසෙති. ඔවුන්ගේ සංස්කෘතික උත්සව අතුරින් තෛපොංගල් දිනය ඔවුන් උත්සව සිරියෙන් සෑම වසරකම සමරන්නේ මහත් භක්තියෙනි.

සූර්යා කේන්ද්‍රකරගත් තෛපොංගල් උත්සවය සශ්‍රීකත්වය සංකේතවත් කරමින් අපේ රටේ හින්දු බැතිමතුන් ද මෙවර සමරන්නේ ආගමික කටයුතු සඳහා මුල්තැන ලබා දෙමිනි. එම සංස්කෘතික උත්සවයේ දී ඔවුහු පොංගල් බතක් සෑදීම සෑම නිවෙසකම සිදු කරති. එයට අමතරව ඔවුන්ගේ හින්දු සංස්කෘතියට ආවේණික වූ කෑමබීම සාදා තම අසල්වැසියන් සමඟ බෙදා ගැනීම ද ඉතාම අගනා ආගමික සංහිඳියාවකි.

ඉන්දියාවේ ආභාෂය හා සංස්කෘතියට බෙහෙවින්ම සමීප වූ අපේ සිංහල ජනතාව ද ඔවුන්ගේ මේ ආගමික කටයුතු පිළිබඳ වඩාත් පි‍්‍රය කරති. සිංහල ජනතාව තම සංස්කෘතික උත්සව සඳහා කිරිබත් සෑදීමට හුරුවී ඇත්තේ ද මෙම ආගමික බැඳීම නිසාමය.

එම සංස්කෘතික බැඳීම තවත් ශක්තිමත් කිරීමේ අපේක්ෂාවෙන් අපගේ සුවිශේෂි කෑම අතිරේකයෙන් මෙවර ඉන්දියානු කෑම කිහිපයක් තිළිණ කරමු. අප මේ අතිරේකයෙන් තිළිණ කරන කෑම වර්ග තෛපොංගල් දිනයට පමණක් නොව සෑම අවස්ථාවකටම ගැළපෙන වට්ටෝරු කිහිපයකි.

ඉන්දියානු කෑම සහ හින්දු කෑම වර්ග පි‍්‍රය කරන අපගේ ගෘහණියන්ට ද විශේෂ අවස්ථාවක කෑම මේසය සරසන්නට අත්වැලක් වේවි. එවිට වෙනස්ම වූ කෑමට පි‍්‍රය කරන ඔබේ පවුලේ සාමාජිකයන්ටත්, නිවෙසට පැමිණෙන අමුත්තන්ටත් අලුත්ම කෑමක රස මිහිර විඳ ගැනීමේ අවස්ථාව උදා වේවි.

 

උපදෙස්

සකුන්තලා කරුණාරත්න

වෝ කේටස් රුවන්වැල්ල

 

මෝරු

 

අවශ්‍ය ද්‍රව්‍ය

මුදවපු මී කිරි මිලි ලීටර් 500 ක්

වතුර කෝප්ප 3/4 ක්

ඉඟුරු අඟල් 1/2 ක කැබැල්ලක්

කොච්චි කරල් 3 ක්

අමු මිරිස් කරලක්

රතු ලූනු ගෙඩි 4 ක්

කරපිංචා කිනිත්තක්

දෙහි කොළයක්

ලුණු රස පදමට

 

සාදන ක්‍රමය

මුලින්ම ඉඟුරු, කොච්චි , අමු මිරිස් සහ රතු ලූනු වංගෙඩියකට දමා හොඳින් කොටාගන්න.

ඉන්පසු කරපිංචා ද තරමක් කුඩා කැබැලිවලට කඩා ගන්න.

දැන් බ්ලෙන්ඩරයට මී කිරි සහ වතුර එක්කර හොඳින් මිශ්‍ර වනතුරු බ්ලෙන්ඩ් කරන්න.

ඉන්පසු පොඩි කරගත් ද්‍රව්‍ය සියල්ල මෙයට එක්කර දෙහි හෝ ලෙමන් කොළය එක්කර නැවත මිශ්‍ර කර පිළිගන්වන්න.

කැමැති නම් පළමු පියවරේ සඳහන් සියල්ල ගිතෙල් සහ කහ ස්වල්පයක් එක්කර තෙම්පරාදු කිරීමෙන් ද මෙය සාදා ගත හැකියි.

2020/01/15 තරුණි බලන්න

 

No comments:

Post a Comment