රස ඉතිරෙන බනිස් ගෙදර හදමු

නොවැම්බර් 13, 2019
වියදම අවමයි රසයෙන් ඉහළයි
පුංචි පැටවු ගෙදර හදන කෑමවලට වඩා කඩෙන් මිලදී ගන්න ආහාරවලට පුදුමාකාර කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම පාන්, බනිස් වැනි බේකරි නිෂ්පාදනවලට වාගේම රෝල්ස්, පැටිස්, එළවළු රොටී වැනි කෙටි කෑමවලටත් හරිම කැමැතියි.
හැබැයි බොහොමයක් මවුවරු මේවායේ පෝෂණීයබව වාගේම පිරිසුදුකම ගැන සිතනා නිසා කඩෙන් මිලදී ගන්නා ආහාර දරුවන් වෙත ලබාදීමට මැළිකමක් දක්වති. නමුත් ගෙදරදීම එවැනි ආහාර සකසා ගැනීමට ද ඔවුන් මැළිවන්නේ ඒ පිළිබඳ එතරම් දැනුමක් නැති නිසාමයි.
ඉතින් ඊට හොඳම විසඳුමක් ලබාදෙන්න තරුණී අප කල්පනා කළා. ඒ අනුව මෙවර රසාර සුවිශේෂී කෑම අතිරේකය වෙන්වනුයේ ගෙදරදීම සකසා ගත හැකි පැටිස්, බනිස්, රෝල්ස් ආදී බේකරි නිෂ්පාදන කිහිපයක් වෙනුවෙනි.
ඔබේම දෑතින් පිරිසුදුවට, රසට, ගුණට පිළියෙල කළ මේ ආහාර කිසිදු බියක් සැකක් නොමැතිව දරුවන්ට ලබාදිය හැකියි. ඒ විතරක් නෙවෙයි තව සති දෙකකින් පමණ උදාවන පාසල් නිවාඩුවේ දී දරුවන්ගේ ලෝකය රසවත් බවින් පුරවාලිය හැකියි.
උපදෙස්
ඉතාලියේ පර්ගමා හි වෙසෙන සූපවේදිනී
ජනනි ගුරුසිංහ

චම්පා වරුසප්පෙරුම
----------------------
හරිම රසයි සීනි සම්බෝල පාන්
චුට්ටක් කටට සැරට හදන සීනි සම්බෝල මිශ්‍ර කරලා සැකසූ සීනි සම්බෝල පාන් හරිම රසවත්. කෙටි ආහාරයක් නිසා තේ වෙලාවට, පොඩි බඩගින්නට හරිම අපූරුයි.
ඒ විතරක් නෙමෙයි නිර්මාංස උදවියටත් ආහාරයට ගන්න පුළුවනි. නිතරම බඩගිනි හැදෙන අපේ පුංචි පැටවුන්ට මේ සීනි සම්බෝල පාන් වාගේ දේවල් හදලා දුන්නොත් හරිම ආසාවෙන් රස විඳීවි නේද?
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කිලෝ ග්‍රෑම් 01 ක්
ඊස්ට් තේ හැඳි 02 ක්
සීනි තේ හැඳි 02 ක්
බිත්තර 02 ක්
බටර් ග්‍රෑම් 100 ක්
කිරි කේාප්ප 1/2 ක්
ඔලිව් තෙල් මේස හැන්දක්
රස අනුව ලුණු
මඳ උණුසුම් ජලය
මතුපිට තැවරීමට බිත්තර සාරු

සාදන ක්‍රමය
  •  පළමුව මඳ උණුසුම් ජලය කෝප්ප බාගයකට ඊස්ට් සහ සීනි එකතුකර දියකරගන්න.
  •  දැන් පාන් පිටි, ලුණු, උණු කරගත් බටර්, බිත්තර, කිරි, ඔලිව් තෙල් ආදිය බඳුනකට දමා ඊස්ට් මිශ්‍රණය එකතු කරමින් අනාගන්න. මදි පාඩුවට ජලය පොඩ්ඩ පොඩ්ඩ එකතු කරමින් අතේ නොඇලෙන පදම එනතුරු අනාගන්න.
  • හොඳින් පිටි ඇනුණානම් එය මෘදු පිටි මෝලියක් ලෙස අතට දැනේවි.
  • මෙය පැයක් පමණ වසා තබන්න. දෙගුණයක් වන්නට පිපේවි.
  •  ඒ අතරේ සීනි සම්බෝලය සාදා නිවෙන්නට හරින්න. (සීනි සම්බෝල මිශ්‍රණය සකසා ගන්නා ආකාරය ය පිටුවේ සඳහන්ව ඇත.)
  •  දැන් පිපුණු පිටි මෝලියෙන් පොඩි බෝල වෙන් කරගන්න.
  • බෝල වෙන්කර තබා ගනිද්දී, පිපෙන්නට ඉඩ තබන්න අමතක කරන්න එපා.
  •  දැන් පිටි බෝල එක බැගින් ගෙන හොඳින් තුනීකර ඒ මත සීනි සම්බෝලය තබා ඔබ කැමැති හැඩයකට නමාගන්න.
  •  ඒ මත බිත්තර සාරු දවටා විනාඩි කිහිපයකට කලින් රත් කරගත් සෙල්සියස් අංශක 200 උෂ්ණත්වය සහිත උදුනක දමා රන්වන් පැහැය වනතුරා බේක් කරන්න.

2019/11/13 තරුණි බලන්න

No comments:

Post a Comment