වෙනස් රසයන් සොයන ඔබට විවිධ රසැති කෑම බීම

නොවැම්බර් 25, 2020

රස නහර පිනා යන ආහාර වර්ග රස විඳීන්න කවුරුත් කැමැතියි. විශේෂයෙන් ම ඒකාකාරී ආහාර රස විඳීන විට ඇතිවන ආහාර අරුචිය දුරුකොට ආහාර රුචිය වඩවන්නටත් මෙවැනි ආහාර යොදා ගත හැකියි. එමෙන්ම මේ කාලයේ දී පිටතට යාමට නොහැකි බැවින් බොහෝ දෙනා නිවෙස්වලින් ම ආහාර සපයා ගනී. එනිසා නිවෙසේ දී ම හෝටලයක මෙන් වූ කෑම වේලක් රස විඳීන්නත් මේ ආහාර වට්ටෝරු සකසා ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනවා.

එමෙන්ම දැන් තියාම මේ කෑම වට්ටෝරු සකසා පෙරහුරුවක් ලබා ගැනීමෙන් ළඟ එන නත්තල සමරන්නත් නත්තල් කෑම මේසයටත් මේ ආහාර සකසා ගත හැකියි. නිවෙසේ හැමටම එකසේ රස විඳීය හැකි මේ ආහාර විවිධ රටවලට අයත් ඒවා වීමද විශේෂත්වයකි. විවිධ රසයෙන් යුත් මේ ආහාර රස විඳීන්නට අපි ඔබටත් ආරාධනා කරන්නෙමු.

 

ජර්මනියේ වෙසෙන සූපවේදිනී

චාමලී මදනායක

 

ෂ්මල්ස්කූහන්

 

ජර්මනියේ කෙටි කෑමක්

ජර්මනියේ නත්තල් කාලෙට හරිම ලස්සනයි. ඒ කාලෙට නගරෙ පුංචි කඩවල තියෙන රසවත් කෑමක් තමයි ෂ්මල්ස්කූහන් කියන්නේ. මේ කෑම කන්න පොඩ්ඩො ගොඩක් කැමැතියි. සීතල කාලෙට උණුවෙන් ම මේ ෂ්මල්ස්කූහන් කන එක රසවත් බවට විනෝදයකුත් එකතු කරනවා. කඩල ගොටු වගේ වෙනස් ප්‍රමාණවලින් තියෙන මේ රසවත් ආහාරයට බාබකියු ස්ටික් එකකුත් දෙනවා.

ඒත් ලංකාවේ අපිටත් මේ කෑම නිවෙසේ දී හදාගෙන රසවිදින්න දැන් පුළුවන්. සවස් වරුවක නිවී සැනසිල්ලේ රස විඳීන්න අපූරු කෑමක්. පහත දැක්වෙන කෑම වට්ටෝරුවට අනුව ෂ්මල්ස්කූහන් සාදා ගන්න.

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

පාන් පිටි ග්‍රෑම් 550 ක්

මඳ උණුසුම් කිරි මිලි ලීටර් 250 ක්

(කිරිපිටි හෝ නැවුම් කිරි)

සීනි ග්‍රෑම් 80 ක්

බිත්තරයක් (කුඩා බිත්තර නම් 2ක්)

වැනිලා තේ හැන්දක්

ඊස්ට් තේ හැඳී 2 ක්

ලුණු තේ හැඳී 1/2 ක්

දෙහි යුෂ මේස හැන්දක්

දියකරගත් බටර් හෝ මාගරින් ග්‍රෑම් 50 ක්

 

එය සාදන ක්‍රමය:

මුලින් ම රස්නය ඇති කිරි එකට ඊස්ට් දමා හොඳීන් හැඳී ගාන්න. පාන් පිටි ටික කේක් ගහන මික්ස්චර් එකට දමා පාන්වලට අනන ලෙස හොඳීන් අනාගන්න. මෙය අතින් වුවද හොඳීන් අනාගැනීමට පුළුවන්. අතේ ඇලෙන ගානට එන විට පිටි ස්වල්පයක් අතේ ගා මිශ්‍රණය හොඳීන් අනාගන්න.

දැන් පිටි, ලුණු, බිත්තරය, වැනිලා, දෙහි යුෂ, සීනි යන සියල්ල එකතුකර කිරි ටික ද දමා ටිකක් මිශ්‍ර කරන්න.

ඉන්පසුව දියකරගත් බටර් ස්වල්පය බැගින් මෙයට දමා මෘදු පිටි මෝලියක් ලෙස අනාගන්න.

එය බඳුනකට දමා පිරිසුදු රෙද්දකින් වසා විනාඩි 30-45 ක් පමණ වේලාවක් පිපෙන්නට තබන්න. ඉන්පසුව පිරිසුදු මතුපිටක පිටි ඉස රෝලින් පින් එකේද පිටි ආලේපකොට පිටි මෝලිය තරමක් තුනී කරගන්න.

මෙය සෙන්ටිමීටරයක පමණ ඝනකමට තිබීම ප්‍රමාණවත් වේ.

මෙම තුනී කරගත් පිටි මෝලියෙන් කුඩා කොටු හැඩයේ කැබැලි කපා වෙන්කර ගන්න.

දැන් තෙල් තාච්චියක් ළිප තබා රත් වූ තෙල්වලට මේ කපා ගත් කැබැලි දමා රන්වන් පැහැ වනතෙක් බැදගන්න.

ඉන්පසු අයිසිං සීනි මෙයට ඉස ගෑරුප්පුවක් හෝ බාබකියු ස්ටික් එකක් ගසා කෑමට ගන්න.

මේ ප්‍රමාණය වැඩි නම් ඉහත ප්‍රමාණවලින් කොටසක් පමණක් ගෙන මෙය සෑදිය හැකියි.

******************

 

රසයත් පෝෂණයත්  පිරි චිකන් අන්නාසි බත්

 

වෙනස් රසයන් හොයන අයට මේ චිකන් හා අන්නාසි මිශ්‍ර බත කදිමට ගැළපේවි. ආහාර දිරවීමට පහසු කරන විටමින් සී අධික පලතුරක් වන අන්නාසි රසයත් පෝෂණයත් එක විටම ගෙන දීමට සමත්. මේ චිකන් අන්නාසි බත නිවෙසට අමුත්තන් පැමිණි විටෙක වුවද සුදුසුයි. නමුත් ඔවුන්ගෙන් අන්නාසිවලට අසාත්මිකතා දක්වන්නන් සිටීදැයි කලින් ම විමසා දැන ගැනීම සුදුසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ:

බාස්මතී හාල් හෝ වෙනත් මේ සඳහා සුදුසු හාල් වර්ගයක්

කුකුළු මස්

සොසේජස් කරල් කිහිපයක්

මිරිස් කුඩු ස්වල්පයක්

කහ ස්වල්පයක්

කුරුඳු කැබැල්ලක්

රම්පේ, කරපිංචා

කරදමුංගු, කරාබුනැටි

පොල්කිරි කෝප්පයක්

ලුණු රස අනුව

බී ලූනු ගෙඩියක්

සුදු ලූනු බික් දෙක තුනක්

බටර් ස්වල්පයක්

අන්නාසි ගෙඩි භාගයක්

ලූනු කොළ ස්වල්පයක්

අවශ්‍ය නම් බිත්තර

දැන් බත හදමු:

බත් එක හදා ගැනීමට හාල් සෝදාගන්න. එයට කුරුඳු කැබැල්ලක්, රම්පෙ, කරදමුංගු, කරාබු නැටි සහ පොල්කිරි කෝප්පයක් එකතුකර කහ සහ ලුණු ස්වල්පයක් ද එක්කරගන්න. මෙයට වතුර ද අවශ්‍ය පමණට දමා බත පිසගන්න.

කටු ඉවත් කළ මස් ගන්නවා නම්, කුඩා කැබැලිවලට කපාන්න. එයට මිරිස් කුඩු, ලුණු කුඩු ස්වල්පයක් දමා අතගා පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා බැදගන්න.

 

 

2020/11/25 තරුණි පුවත්පත බලන්න.

No comments:

Post a Comment