විශාඛා ගේ අතින් හැදෙන බිත්තර හොද්ද

අගෝස්තු 5, 2020

සිරි කුලරත්නගේ ‘අනුරාධා’ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට පිවිසි ඇය සිනමාවේ උසම නිළියයි. අඩි 5 යි අඟල් 9 ක් උස ඇගේ ‘රෙකෝඩ්’ එක කවුරුවත් තවම බිඳදමා නැත.

‘ඕතචජඬ ඕඥතබ’ දක්වා කරාතේ ක්‍රීඩාව ප්‍රගුණ කර ඇති ඇය අයස්කාන්ත සිරුරක් හිමි ලාංකේය සිනමා හා ටෙලි නාට්‍ය නිළි විශාකා සිරිවර්ධනයි. අද අපි සැරැසෙන්නේ ඇගේ ඉවුම්, පිහුම් කලාව කෙතරම් දුරට ප්‍රගුණ කර ඇත්දැයි සොයා බැලීමටයි.

ඔයා හදන කෑම වර්ගය මොකක්ද අද?

අද මං හදන්නේ බිත්තරවලින් රසවත් ව්‍යාංජනයක්.

ඉස්සරවෙලාම මම කියන්නම් මේක හදන්න අවශ්‍ය දේවල් මොනවද කියලා. බිත්තර ගෙඩි 6 ක්, තම්බපු අර්තාපල් ගෙඩියක්, ලොකු බී ලූනු ගෙඩියක්, තක්කාලි ගෙඩියක්, මිරිස් කුඩු තේ හැඳි 1, කෑලි මිරිස් තේ හැඳි 2, උම්බලකඩ මේස හැඳි 2, ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2, අඹරාගත් සුදුලූනු, ඉඟුරු තේ හැඳි 1, දියකිරි කොප්ප 1/2 මිටි කිරි කෝප්ප 3/4යි, එළවළු තෙල් ස්වල්පයක්, ලුණු රස පදමට.

විශේෂ දෙයක් නැහැ නේද විශාඛා.

නැහැ හරිම සිම්පල් දේවල් තමයි ඕනි වෙන්නෙ. ඉතින් මුලින්ම බිත්තර ටික කඩලා භාජනයකට දාලා හොඳට ගසා ගන්නවා. තම්බාගත් අර්තාපල් ගෙඩිය වෙනත් භාජනයකට දාලා අතින් හොඳින් පොඩිකරගෙන ඒකට බිත්තර සාන්ද්‍රණය එකතු කරනවා. එයටම ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, අඹරාගත් ඉඟුරු, සුදුලූනු, උම්බලකඩ, බී ලූනු, අමු මිරිස්, එකතු කරලා හොඳට කලවම් කරගෙන වතුර භාජනයක් ළිප තියලා හුමාලයෙන් තම්බා ගන්නවා. විනාඩි 8 - 10 ක් ගිය පසු ළිපෙන් බාලා නිවෙන්නට තියලා කේක් ගෙඩියක් කපන විදියට මේ බිත්තර තැම්බුම තරමක් ලොකු කැබැලිවලට කපා ගන්නවා. ඊට පස්සේ වෙනත් තරමත් ගැඹුරු මැටි ඇතිලියක් හෝ පෑන් එකක් ළිප තියලා ඒකට එළවළු තෙල් මේස හැඳි 2 ක් දාලා රත්වීගෙන එනකොට එයට කපාගත්ත බී ලූනු, රම්පෙ, කරපිංචා, කෑලි මිරිස් දාලා බැදගන්නවා.

ලූනු රන්වන් පාට වීගෙන එනකොට දිය කිරි කෝප්ප 1/4 දාලා පැහීගෙන එනකොට මිටිකිරි කෝප්ප 3/4 දාලා හොඳට හැඳි ගානවා. විනාඩි දෙකකට විතර පස්සෙ අපි අර කපා ගත් බිත්තර තැම්බුම කැබැලි කැඩෙන්නේ නැතිවෙන්න මේ නටන කිරි හොද්දට එකතු කරනවා. හැන්දෙන් හැඳි ගාන්නේ නැතිව ඇතිලිය දෙපැත්තට හොලවලා කෑලි කැඩෙන්නේ නැතිවෙන්න හොද්ද හොඳින් මිශ්‍ර කරගන්නවා. හතු ටිකක් බැදලා මේ ව්‍යාංජනයට එකතු කර ගන්න පුළුවන්නම් තවත් රසවත්. බලන්න ඔයාලත් මේ අමුතුම බිත්තර ව්‍යාංජනය හදලා. 0112429591 මේ අංකයට කතා කරලා ඔයාලා හදපු ව්‍යාංජනයේ රස කොහොමද කියලා අපිට කියන්න.

 

 

2020/08/05 තරුණි පුවත්පත බලන්න.

No comments:

Post a Comment