එළවළු කපනකොට සම්බෝල කරනවද, මැල්ලුම් කරනවද?

නොවැම්බර් 10, 2021

 

ආචාර්ය පබිලිස් සිල්වාගෙන් උයන කලාවේ රහස් දැන ගනිමු

කැපීමේ කලාව ඇතැම්හු ඉතාමත් හොඳින් සිදු කළද තවත් අයට ඒ පිළිබඳ දැනුම්වත් බවක් නැත. මෙසේ කී විට ඔබේ සිතට නිතැතින් ම නැගෙන්නට ඇත්තේ සමාජයේ ඇති ඇතැම් කැපීමේ සිද්ධීන් පිළිබඳ විය හැකිය. සමාජයේ කොතෙක් කැපීම් තිබුණද නොකැපී සිටින්නට නම් තමා සතුව, තමා කරන කුමන කාර්යයක් පිළිබඳව වුවද නිසි දැනුමක් තිබිය යුතුය.

ඒ නිසාම ආහාර සැකසීමේ දී වුවද ඒ ගැන නිසි දැනුමක් පැවතීම ඔබේ අගය ඉහළ දමන්නකි. ඒ ඒ ආහාර වර්ගය සැකසීමේ දී එකම අමුද්‍රව්‍ය වර්ගය වුවද කපන ආකාර වෙනස් වන බවත් ඒ කුමන ආකාරයට ද යන්නත් දැන ගැනීම වැදගත් ය. එය ආහාරයේ රසය, ගුණය වර්ධනය කිරීමටත් එහි ඇති සුවඳ, වර්ණය රැක ගැනීමටත් ඉවහල් වන්නකි. ඒ නිසා කොහොම ඉව්වත් එකයි. උගුරෙන් පහළට යනකම් විතරයි ඔක්කොම, කොහොම හරි උයල ගත්තම බඩගින්න නිවෙන්න විතරනෙ ඕනේ.. යැයි සිතන අය ද අප අතර නැතිවාම නොවේ. එවැනි කෙනෙකුට වුවද මේ ආහාර සැකසීමේ කලාව හැකි ලෙස සෙමින් සෙමින් ඉගෙනීමෙන් ඉවුම් පිහුම් කටයුතුවල වින්දනයක් ද ලබා ගත හැකි වේවි.

යමක් සිහින්ව කපන විට වැඩිහිටියන් අසන්නේ ''මොකද ඕක සම්බෝල හදන්නද යන්නේ.., අයියෝ මේක මැල්ලුම් කරලනේ..'' ලෙසයි. එයින්ම අපට හැඟෙන්නේ සම්බෝල වර්ග සාදන විට මෙන්ම මැල්ලුම් වර්ග සෑදීමේ දී ද ඉතා සිහින්ව අමුද්‍රව්‍ය කපා ගත යුතු බවයි. එමෙන්ම මැල්ලුම් වර්ග සැකසීමේ දී කුමනාකාරයේ මැල්ලුමක් වුවත් අනිවාර්යයෙන් එයට පොල් එකතු කිරීම ද කළ යුතුය.

අද අපි කොළ කපන ආකාරයන් හා සම්බෝල වර්ග, මැල්ලුම් වර්ග ආදිය සෑදීමේ දී අමුද්‍රව්‍ය කපා ගත යුතු ආකාරය පිළිබඳ දැනුම්වත් වෙමු.

 

* අමුද්‍රව්‍ය කිහිපයක් මිශ්‍රකොට සකසන මිශ්‍ර ව්‍යාංජනය පෝෂණ ගුණය අතින් ඇත්තේ ඉහළ තැනකය. මිශ්‍ර ව්‍යාංජනය සඳහා කොළ වර්ග කපා ගැනීමේ දී සිහින් ව කපා ගැනීම නොකළ යුතුය. ඒ සඳහා තරමක කැබැලි සිටින සේ කොළ කපා ගත යුතුය. නැතිනම් අනෙකුත් අමුද්‍රව්‍ය තැම්බෙන විට කොළ තැම්බී වැඩි විය හැකි නිසයි.

 

* කොළ වර්ග බොහොමයක් මැල්ලුම් ලෙස සැකසීම සිදු කරයි. එය පෝෂ්‍ය ගුණයෙන් වඩාත් ඉහළ ය. මන්ද පොල් ද එයට එකතු කරන බැවිනි. මෙහිදී කොළ වර්ගය කුමක් වුවත් මැල්ලුම සැකසීමේ දී එම කොළ සිහින්ව කපා ගත යුතුයි. නමුත් මතක තබා ගත යුත්තේ කොළ මැල්ලුම් වැඩි වශයෙන් තැම්බීම නොකළ යුතු බවයි. එවිට එහි පැහැය හා රසය වෙනස් වන අතරම පෝෂ්‍ය කොටස් ද හීන වී යා හැකිය.

 

* සම්බෝල වර්ග සැකසීමේ දී අමු මිරිස් තරමක කැබැලි ලෙස කැපීමට සමහර ගෘහණියන් පුරුදු වී ඇත. නමුත් සම්බෝලයක රසය වැඩි වීමට නම් එහි ඇති සියලු රසයන් එකට මිශ්‍ර විය යුතුය. අමුවෙන් සකසන ආහාරයක් නිසා එහි ඇති කිසිදු දෙයක් තැම්බීමක් සිදු නොවේ. එමනිසා අමු මිරිස් වුවද කපා ගත යුත්තේ ඉතාමත් සිහින්ව ය. සම්බෝලයෙහි රසයට මෙන්ම පෙනුමට ද එය වැදගත් ය.

 

* කොහිල අල සම්බෝල ඉතා රසවත් මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ද ඉහළ ආහාරයකි. කොහිල අල සම්බෝලය සෑදීමේ දී ඉතා කුඩා කොටු ආකාරයට කොහිල අල කපා ගත යුතුය. ඒවායෙහි ඇති නූල් සහිත කෙඳි නිසා සිහින්ව කැපීම තරමක් අපහසු වුවද මෙහි රසය වැඩි වන්නේ කුඩාවට කපාගත් තරමට ය.

 

* සම්බෝලයක රසය, ගුණය මෙන්ම පෙනුමට ද එකසේ වැදගත් වන දෙයක් ලෙස තක්කාලි හැඳින්විය හැකිය. තක්කාලිවල ඇති ඇඹුල් ස්වභාව සම්බෝලයේ රසය වැඩි කිරීමට සමත් වන අතරම එහි ඇති විටමින් සී එකතු වීම නිසා සම්බෝලයේ පෝෂ්‍ය ගුණය ද වැඩි වේ. එමෙන්ම රතු පැහැති තක්කාලිවලින් සම්බෝලයට අලංකාර පෙනුමක්, වර්ණවත් බවක් එකතු වේ. මේ නිසා තක්කාලි සම්බෝලයකට එකතු කිරීමේ දී ඒ සඳහා කැපිය යුතු සුදුසු ම ක්‍රමය වන්නේ සිහින් තීරු ලෙස කපා ගැනීමයි.

 

 

No comments:

Post a Comment