මයික්‍රොවේව් උදුන කියන තරම් නරක ද?

ජුනි 26, 2019

ගෙදර දොර කටයුතු, රැකියාව, දරුවන්ගේ කටයුතු ආදී එකී මෙකී නොකී කප්පරක් වැඩ නිසා කාර්යබහුල වන්නී ඇයයි. ඒ නිසාම ඇය සොයන්නේ තමන්ගේ වැඩකටයුතු ඉක්මනින් හා පහසුවෙන් කරගන්නට හැකි ගෘහ උපකරණය.

එහෙයින් මයික්‍රොවේව් අවන් එක ඇගේ දහසකුත් එකක් වැඩ පහසුකරන අපූරු මිතුරා ලෙස හැඳික්වීමේ වරදක් නැත.

ඒ නිසාම අපේ ගෘහණියන්ගේ නැතුවමබැරි මුළුතැන්ගෙයි හිතවතා ලෙසින් දැන් දැන් ඉල්ලුම වැඩි වී ඇත්තේ මයික්‍රොවේව් අවන්වලටය. එහෙත් මේ පිළිබඳ විවිධ මත පළවන නිසාම සමහරුන් මේ උපකරණය භාවිතය පිළිබඳ සැක උපදවාගෙන තිබේ.

එහෙයින් ඔබේ දැනුමට අලුත් යමක් ගෙන එන්නට මේ පිළිබඳ විමසා බැලූවෙමු.

මොනවද මේ මයික්‍රොවේව්?

අමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල සෑම නිවෙසකම පාහේ අනිවාර්යයෙන්ම මයික්‍රොවේව් උදුනක් තිබේ. ඒ නිසාම ඔවුහු අපිට වඩා මෙම උදුන් භාවිතය පිළිබඳ නිරන්තර විමසිලිමත් වෙති. මයික්‍රොවේව් කියන්නේ ක්ෂුද්‍ර තරංගවලටයි. රූපවාහිනි, ජංගම දුරකථන වැනි දේ ක්‍රියාත්මක වන්නෙත් මේ ක්ෂුද්‍ර තරංග හරහායි. මේ තාක්ෂණය මුළුතැන්ගෙයට ගෙන එන්නේ මයික්‍රොවේව් අවන් එකයි. ඒ නිසා මයික්‍රොවේව් අවන් එකක් ගන්න ඔබ එය හරියට ක්‍රියාත්මක කරන්න දැනසිටිය යුතුමයි. ඒ වගේම මයික්‍රොවේව් අවන් එකක් ගන්න පෙර මිලදී ගන්නා ආයතනයෙන් ඒ පිළිබඳ හොඳින් විමසා බැලිය යුතුයි. නියමිත ප්‍රමිතීන්ට අනුව සකස් වී තිබේද යන්න දැනගැනීමත් ඔබේ ආරක්ෂාවට පෙර සූදානමක් වනවා. දොර පියන් නිසිලෙස වැහෙනවාද? යතුරු පුවරු නිසිලෙස ක්‍රියාත්මක වෙනවාද? වොට් ගණන කීයද? සාමාන්‍යයෙන් වොට් 500 -1100 අතර ප්‍රමාණයක් මෙම අවන් සඳහා භාවිත කරනවා. විවිධ ප්‍රමාණවලින් මෙම අවන් තිබෙන නිසා ඔබට ගැළපෙන ප්‍රමාණය කුමක් ද යන්නත් විමසා බලන්න. එහිදී ඔබ එමඟින් කරන්නට යන දේ හා ඔබේ පවුලේ සාමාජිකයන් ප්‍රමාණය අනුව අවශ්‍ය උදුනේ ප්‍රමාණය තීරණය කළ හැකියි.

භාවිත කළ හැකි බඳුන්

ඒ අපිට හැම බඳුන් වර්ගයක්ම මෙම අවන් තුළ තබන්න බැහැ. මයික්‍රොවේව් අවන් තුළ තබන්න සුදුසු වීදුරු, පෝසිලේන්, පේපර් ප්ලේට්ස්, පාච්මන්ට් කඩදාසි ආදිය ගැන විමසා බලන්න. ඇලුමිනියම් ෆොයිල්, ඇලුමිනියම් බඳුන්, එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් බඳුන්, ශීතකරණ තුළ තැබිය හැකි ප්ලාස්ටික් බඳුන් ආදිය මෙහි තබන්න බැහැ. ඒ නිසාම ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වා දැනුමක් ලබාගත යුතුයි.

 

සටහන - පාලිකා දිල්රුක්ෂි

2019/06/26 තරුණි බලන්න

 

No comments:

Post a Comment